නිවන් මහා ප්‍රාකාරය

Niwan Maha Prakaraya 


'නිවන් මහා ප්‍රාකාරය' නම ඇසූ සැනින් නිවනට බාධාවක්, ප්‍රාකාරයක්, තාප්පයක් ලෙස ඔබට හැඟීමක් ඇති වනු ඇත. එය සාධාරණ හැඟීමක් යන්න මගේ මතයයි. එනමුත් මෙහි නිර්මාණකරුවන් ට අනුව මෙය අති සුවිශේෂී නිර්මාණයකි. 'ලෝක පුදුමයක්' වීමටද නියමිතය. තිස්සමහාරාම, ගෝණගමුව, උඩුවිල ගංගාරාම රජමහා විහාරයේ මෙය තරමක් දුරට වැඩ අවසන් කොට තිබේ. මෙහි උස අඩි 28ක් ද, දිග අඩි 900ක් ද, පළල අඩි 42ක් ද වීමට නියමිතය.

මෙය සරළව හඳුන්වන්නේ 'සඳකඩපහණ' ත්‍රිමානව දැක්වීමක් ලෙසයි. එනමුත් සඳකඩපහනේ ඇති නිර්වාණය හා නිර්වාණ මාර්ගයේ සංඛේත ත්‍රිමාණ කළ පමණින් එය නිවන් මහා ප්‍රාකාරය ලෙසින් හැඳීන්වීමට සුදුසු වන්නේ දැයි යන්න නැවත සිතා බැලිය යුතු වේ. මන්ද යත් 'සඳකඩපහණට' කිසි විටක නිවන් මහා පාපිස්නාව ලෙස හඳුවා නැති බැවිණි. බුදුන් වහන්සේගේ ධර්මය තුළ අන්තර්ගත වැදගත්ම, ප්‍රමුඛතම කාරණය වන්නේ උතුම් වූ නිර්වාණයයි. එය හුදෙක් ගඩොල් බිත්ති අතරින් දැකිය නොහැකි, පුහුණුව මඟින් කැපවීම මඟින් ලබාගත යුතු උතුම් තත්වයකි. ඒ සඳහා වැඩීමට පැහැදිලි මාර්ගයක් බුදුන් වහන්සේ පෙන්වා තිබිණි. එකල රජ දවස භික්ෂුන් මේ මාර්ගය වැඩුවා සේම එම මාර්ගයට ගිහියන්ද කෙමෙන් කෙමෙන් ඇතුලත් කරගෙන ධාර්මික වටපිටාවක් ඇති කොට තිබිණි. එම සමාජයේ ප්‍රතිබිම්භයක් ලෙස සඳකඩ පහන වැනි නිර්මාණ එකළ බිහි විය. මෙකළ එම දර්ශණය පෙට්ටියකට දමා වසා තබා එහි ඇති ගුප්ත බලය ගැන, බුදුන් වහන්සේගේ දිවි පෙවෙත ගැන, එකළ සමාජ දේශපාලන වටපිටාව ගැන කටපාඩමින් ධර්ම දේශනා කරයි. භික්ෂූන් අතර මෙන්ම ගිහියන් අතරද නිවන ගැන කිසිදු කතිකාවතක් නොමැත. සමාජයද ධර්මිෂ්ඨ නැත. එසේම ප්‍රතිබිම්භයක් ලෙස නිර්මාණ බිහිවීමටද ඉඩකඩක් නැත.

නමුත් එයට විසඳුම වන්නේ සර්පයා නැට්ටෙන් අල්ලාගැනීමද නොවෙයි. සර්පයා නැට්ටෙන් අල්ලනවාට වඩා සර්පයාගෙන් ඈත්ව සිටීම නුවණට හුරුය. කරනවා නම් හරියට කළ යුතුය. මෙහි මූලාරම්භය ගත යුත්තේ භික්ෂූන්ය. ඔවුන් වහ වහා දැන් වත් නිවන කරා යොමු වන මඟ වැඩිය යුතුය. අරාම පාලනයෙන්, ඉඩකඩම් පාලනයෙන්, සුභසාධන කටයුතු වලින්, පරිපාලන සේවයෙන්, දේශපාලනයෙන් නික්ම තමා ශාසනයට පැමිණි කාර්යය එනම් 'නිවන් මඟ' වැඩීම කළයුතු වේ. එයින් පසු සැලකිය යුතු සමාජ පෙරලියක් සිදුකරගැනීමට එයම ඉවහල් වනු ඇත. ඒ ආකාරයෙන් සමාජ ශෝධනයක් සිදුකිරීමට පසු අන්න ඒ පින්වත් සමාජ පරිසරයේ ප්‍රතිබිම්භයක් ලෙස අදාල නිර්මාණ ආදිය කළ හැක. එසේ සිදුකරනු විනා හුදෙක් නිවන් තාප්ප හැදීමෙන් බුදු දහමට වත්, ශාසනයට වත්, නිවනට වත් වෙන කිසිදු උදවුවක් නැත.

එවැනි ව්‍යාපෘතියකට වැය කරන මුදල්, ආරණ්‍යවාසීව (හෝ ග්‍රාමවාසීව) සිටින 'නිවන් මඟ සොයන' 'නිවන් මඟ වඩන' භික්ෂූන්ට උපස්ථානය කිරිමට යෙදවී මීට වඩා ශාසනයේ උන්නතියට කරන මහඟු සේවයකි.