බුදු දහමේ අතරමං වූ මිනිස්සු

පරම අවිහිංසාවාදීව මස්මාළු නොකා පියෝ වෙජිටේරියන් ව සිටීමෙන් නිවන් දකින්න පුලුවන්ද? නැහැ පරම අවිහිංසාවා‍දයෙන් නිවීමට යා හැකි නම් මුලින්ම නිවීමට යන්නේ ජෛන මහාවීර නිගණ්ඨ නාථපුත්ත. මහා පූ‍ජෝපහාර, දේව පෙරහැරවල්, දේව වන්දනා, යාග හෝම වලින් නිවීමට යා හැකිද? නැහැ එසේ නම් අදට වඩා ඉහලින් බුද්ධ කාලයේ යාග හෝම කලා. පිරිත් දේශනා කිරීමෙන් නිවන් දැකිය හැකිද? නැහැ එහෙනම් ඔය ලංකාවෙ උදේ හවා පිරිත් කියන හැටියට බුරුතු පිටින් නිවන් දැකිය යුතුයි.

මොකද්ද මේ මිත්‍යාව? මිනිස්සු හැමෝම ‍ඔහේ සම්ප්‍රදායක් පෝෂණය කරමින් නිර්මල බුදු දහම වහලා දාලා ජෛන ආගම හඹා යනවා, බ්‍රාහ්මණ ආගම්, හිංදු ආගම හඹා යනවා. මිනිස්සු යන්නෙ කොහෙද කියලාවත් දන්නෙ නැහැ. අවිහිංසාවාදය ලොවට කියන්න බුදුන් වහන්සේ මෙලොවට වඩින්න අවශ්‍යය නැහැ. ඊට වඩා පරම අවිහිංසාවාදීන් ලොව පහල උනා. මහා පූජෝපහාර කරන්න කියලා දෙන්න බුදු වරයෙක් අවශ්‍යය නැහැ. බුදු වරයෙක් පහල වෙන්නෙ වෛරයෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන් සැප සම්පත් බදාගෙන දැවෙමින් ඉන්න මිනිස්සුන්ට මේ දාහය නිවාගන්න හැටි කියලා දෙන්නයි.

ඉතින් දාහය නිවාගනු වෙනුවට අද මිනිස්සු කරන්නේ බුදු දහම කියලා හිතාගෙන ඉන්න වෙනත් දෙයක් පසුපස දැවෙමින් ගමන් කරනවා. එකිනෙකා පරයා පිංකම් කරන්න හදනවා. අර පන්සලට වඩා ඉහලින් මේ පන්සලේ පිංකම් කරන්න හදනවා. පිංකම් කියලා හිතාගෙන ඉන්නෙත් අට පිරිකර 1000ක් පූජා කිරීම පහන් ලක්ෂයක් පත්තු කිරීම මල් කෝටියක් පූජ කිරීම. මේවා බුදු දහම මුවාවෙන් කරන විහිළු. මේවා නිසා බුද්ධිමත් විචාරශීලී මිනිස්සු බුදු දහමට ආකර්ශණය කරගන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. පහන් ලක්ෂයක් පත්තු කරන්නෙ මොකටද එක ෆ්ලෑශ් ලයිට් එකකින් ඒ එළිය ගන්න පුලුවන්, මල් කෝටියක් පූජ කලත් වැඩක් නැහැ තමන්ගේ ශරීරයත් මේ මල් වගේම පර වෙන බව මෙනෙහි නොකරනවා නම්. මේවා නෙමෙයි නියම පූජාවන්. බුදුන් වහන්සේ පුන පුනා දේශනා කලා අාමිසය නෙමෙයි වැදගත් ප්‍රතිපත්ති පූජාවයි කියලා. නමුත් අද ඉන්න බුදුන්ටත් වඩා ප්‍රාඥයන් වහන්සේලා ඒවා අමතක කරලා තමන්ගෙ මතවාද ලොකු කරගෙන. බුදුන් දකින්න හන්දියක් හන්දියක් ගානෙ පිළිම හදන්න අවශ්‍යය නෑ බුදුන් වහන්දේ දේශනා කලා බුදුන් දකින්නේ කවුද කියලා. ('යමෙක් ධර්මය දකීද හේ මා දකී' කියලා.)

හන්දියක් හන්දියක් ගානෙ පිළිම හැදුවම, මහා පූජා කලාම නිවන් දකිනවා නම් හෝ බුදුන්ගේ බලාපොරොත්තුව එය උනා නම් මුලින්ම පිළිම හදන්නෙ රහතන් වහන්සේලා. නමුත් එහෙම උනේ නෑ මොකද උන්වහන්සේලා ගුරු කොට ගත්තෙ මේ සිත නිවන අපූරු දහම. මේ අපූරු දහම පෙට්ටියකට දාලා වහලා අගුල් දාලා ඒ පෙට්ටිය ව‍ටේ මොන සැරසිලි කලත් කිසිම ඵලක් වෙන්නෙ නැහැ.

බුදු දහමෙ කියන්නෙ සියලු දුක් වේදනා ශෙෘ්කයන් ඇති වන්නෙ අපි මේ ලෝකයේ සහ ලෝකය ගැන ඇති කරගෙන තියෙන මානසික බැඳීම් සහ රාමු නිසයි. අන්න ඒ රාමු සහ බැඳීම් එකිනෙක බිඳහෙලීම තුලින් දාහයන්ගෙන් තොර සදාකාලික නිවීමකට නිදහසකට පත්වීමයි බුදු දහම කියන්නෙ. මේ දහම පුහුණු කලහොත් එවෙලේම ප්‍රථිපල දෙනවා, මේ දහම අකාලිකයි. නමුත් ශෙෘ්කයට කාරණය මේ උදේ හවස බුදුන් වඳින ඇත්තන්ට උදේ පාන්දර නිවන් සුව ලැබේවා කිවුවොත් කොච්චර තරහ යනවද? මොකද්ද ඒකට හේතුව මේ මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නෙ නිවන් දකින්නෙ මැරුණම කියලා. බලන්න කොයි තරම් සෝචනීය ඉරණමක් ද බුදු දහමට අත් වෙලා තියෙන්නෙ කියලා.

මම නම් හිතන්නෙ 'පිංවතුනි' කියලා කිවුවට මේ ඉන්න උප්පැන්න සහතිකයට බෞද්ධයන් තමයි නියම පවුකාරයන්. මොකද අ‍නිත් මිනිස්සුන්ට දහම අහන්න වත් නැති නිසා මිත්‍යා දුෂ්ඨික උනාය කියන්න පුලුවන් නමුත් මේ අය දහම උපතින් දායාද වෙලා තිබිලත් ඒ දහම පැත්තක තියලා හදාගත්තු දහම වගේ එකක් පෝෂණය කරමින් නැවත සුපුරුදු සම්ප්‍රදායික ගමනේ යෙදෙනවා. 

1 comment:

  1. මෙම ප්‍රකාශණය ඉහා වැදගත්. බුදු දහම ආගමක් කරගෙන ඉන්න අයට මේවා නොතේරේ.

    ReplyDelete