මේ ජීවිතේ සැපක් නැහැ? ඒක බොරු

සමහරු ජීවිතේ ගැන කියන්න ගියාම කියනවා මේ ජිවිතේ සැපක් නෑ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මේ ජීවිතේ සැප තියෙනවා. නැත්තම් මොකටද මෙච්චර දඟලන්නෙ? ඔය හැමෝම පස්සෙන් පන්නගෙන යන්නෙ අන්න ඒ සැප පස්සෙ තමයි. හැබැයි අපි තේරුම්ගන්න ඕනෙ ඔය මේ ලෝකෙ ලබන සැප තාවකාලිකයි කියලා. ඒ සැප සතුට සමහරවිට තප්පර ගණනක් වෙන්න පුලුවන්, සමහරවිට ඒ තප්පර ගණනක තෘප්තිය වෙනුවෙන් මාස ගාණක් දුක් වින්දා වෙන්න පුලුවන්.



ඉලක්ක පසු පස ඔබ හඹා යන සෑම මොහොතකම ඔබ දුක් විඳගෙන යනවා, ඒ ඉලක්කය සැබෑ උනොත් ඔබ සතුටු වෙනවා, ඒ සමඟම ඔබ එයින් සෑහිමකට පත් වෙලා නවතිනවද? නෑ එතනින් තව ඉලක්ක රැසක් ඔබට ඉදිරියේ පේනවා. ඔබ නැවත දුවනවා. හිතන්න ඔබ ලොකූ දුකක් විඳලා සැපක් ලබනවා ආයෙ දුක් විඳිනවා ඉතින් හිතන්න දිගින් දිගටම ඕකමයි වෙන්නෙ. අපි සැප හොයන්න අපේ ජීවිතේ වැඩිම කාලයක් විඩාවෙන්, අපහසුවෙන් ජීවත් වෙනාවා.

ඔබ තේරුම්ගන්න ඕනෙ ඔබ සැප විඳින්න හදාගන්න මානසික ලෝක දීර්ඝ කාලයක් නඩත්තු කරන්න බැහැ කියලා. අන්න ඒ දේ තේරුම්ගත්තම ඔබ යම් මොහොතක මේ මානසික ලෝක නඩත්තු කිරීම කරදරයක් විදිහට දකිනවා. ඒ විඩාව විඩාවක් විදිහටම දකිනවා. ඔබ සියලු දේ දුක නැතුව සැපෙන් විතරක් ගෙවන්න උත්සහ කරන තරමට ඔබ නොදැනුවත්වම ඔබ ළඟ ඉන්නෙ දුකමයි.

ඔබට ඇත්තටම දුක නැති සදාකාලික සැපයකට පත් වෙන්න අවශ්‍යය නම් ඔබට කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයක්, ඔය මනසින් සිහින ලෝක හද හද ඒවා නඩත්තු කර කර ඒවා හැබැ කරගන්න දුවන විඩාපත් ගමන නවත්තන්න. ඒත් භාහිර ලෝකය ඔබට ඒ ගමන ලේසියෙන් නවත්තන්න දෙන්නෙ නැහැ. බොහෝ දෙනෙක් ඔබට ඇදගෙන දුවන්න හදයි, ඔබ පරාජිතයෙක්, ඔබ කිසි දෙයක් බැරි මිනිහෙක් විදිහට පහත් කොට කතා කරයි නමුත් සැබෑවටම ඔබ හිතට ගන්න ඕනෙ ඔබේ හිතේ සතුට නිදහස නිවීම විතරයි ඔබට වැදගත්. ඔබ අනිත් අය සතුටු කරන්න ගිහිල්ලා අනිත් අයගෙ බලාපොරොත්තු ඉටු කරන්න ගිහිල්ලා ඔබේ හිත විඩාවෙන් පුරවගෙන ඔබ අවසානයේ ජීවිතය නැති කරගෙන.

ඔබේ ජීවිතය ඔබේ අතට ගන්න, ඔබේ සතුට පාලනය කරන්න අනිත් අයට දීලා තියෙන දුරස්ථපාලක සියල්ල විනාශ කරන්න. ඔබේ සතුට පිට කෙනෙක් නිසා වත් පිට කෙනෙක්ගේ ක්‍රියාවක් නිසා වත් තීරණය වෙන්න දෙන්න එපා. බොහොම නිදහසේ ජීවත් වෙන්න. මා ඔබෙන් අහන ප්‍රශ්ණය පක්ෂින් නිදහස් කියලා කියන්නෙ ඇයි? පක්ෂින් පොළොවට බැඳිලා නෑ නිදහසේ පියාඹනවා ඔබත් අන්න ඒ වගේ පක්ෂියෙක් වෙන්න. මහ පොළොවේ තියෙන ලස්සන ලස්සනක් ලෙසින්ම දකින්න හැබැයි ඒවා ගිහිල්ලා බදාගන්න යන්නෙපා. එයම ඔබේ නිදහසේ අවසානය වේවි.

මේ ලෝකෙ ධනවත්ම මිනිස්සුන්ගෙ ජිවිත වල නැති සතුටක් ඔබේ හිතේ ඇති කරගන්න පුලුවන් නම් බලන්න ඔබ ඒ අයටත් වඩා පොහොසත් නේද? ඒ අයත් ඔය ධනය පස්සෙ ගියේ සැප විඳින්න සතුටු වෙන්න ඉතින් ඔබ ඒ කිසිවක් නැතුව, ඔබ ඒ කිසිම හඹා යාමක් නොකර ඊට වඩා සතුටින් ඉන්නවා නම් ඔබයි නියම පොහොසතා. අන්න ඒකයි බුදුන් වහන්සේ පවා දේශනා කලේ "සන්තුට්ඨි පරමං ධනං (සතුට උතුම්ම ධනයයි)" කියලා ධනයෙන් සතුටු වෙන්න බෑ සතුට ධනයක් කරගන්න.

මේ ජීවිතය සරල කිරීම තුලින් ඔබ සතුටක් ලබාවි...
ඒ සතුට ඔබව නිදහසේ තබාවි...

No comments:

Post a Comment