උඩුගම්බලා පිහිනීමේ නිපුනතාව 'කුසලයයි'



බුදු දහමේ ඉගැන්වෙන කුසල්, අකුසල් යනු කුමක්ද? මේකට විවිධ වර්ගයේ අර්ථකතන ඔබ පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන ඇති. ඒ බො‍හෝ නිර්වචන හරියට අන්ධයා අලියාගේ හැටි කිවුවා වගේ නිර්වචන.

පැහැදිලි කරගැනීමේ පහසුව සඳහා උපමාවක් සමඟ විස්තර කරන්නම්,

'කුසල්' යනු පුහුණුව මඟින් ලබාගන්නා නිපුනත්වයයි. ඒ කුමකටද සාම්ප්‍රදායිකව පහලට ගලා යන ගංගාවේ ඉහලට යාමට පුහුණු වීම මඟින් ලබාගන්නා නිපුනත්වයයි.

එසේ නම් 'අකුසල්' යනු පුහුණු නොවීම නිසා ඇති වන හැකියාවේ මොටවීමයි. සාම්ප්‍රදායිකව යන ගංගාවේ ‍ඔහේ පහලටම ගලාගෙන යාම නිසා ඇති වන හැකියාවේ මොට බව අකුසලයයි.

දැන් බලමු මොකද්ද මේ සාම්ප්‍රදායික ගඟ, මිනිස් සිතට සිතුවිලි තොරක් නැතුව ගලාගෙන එනවා අන්න ඒ සිතුවිලි ඔ‍හේ ගලාගෙන ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්න දෙනවා නම් අන්න ඒක තමයි සාම්ප්‍රදායිකව ගලන ගඟ. නමුත් එයට ප්‍රතිරෝධීව එන සිතුවිලි වලින් 'තමාට හෝ අන් අයට හානියක් වන සිතුවිලි' පාලනය කිරීම උඩුගම් බලා පිහිනීමයි.

හිතන්න හැමදාම, පරම්පරා ගානක්, හැමෝම පහලට ඔහේ ගහගෙන යන ගඟ දිගේ නොගිහින් උඩුගම් බලා පිහිනන්න නම් ඔබ පුහුණු විය යුතුමයි. හිතට මෙතුවක් ඔහේ ගලා ආපු සිතුවිලි වලින් ඊර්ෂ්‍යාව, වෛරය, දැඩි ආශාව, අනුන් පෙලීමේ සිත වැනි නරක සිතුවිලි පෙරලා හොඳ දේවල් විතරක් ඇතුලට ගන්න නම් (මින් පෙර ලිපි වල විස්තර කල) පුහුණුවෙන් යුතුව සිටිය යුතුයි.

පිනත් කුසලයත් අපි මෙහෙම වෙන් කරගමු,

ඔබ කෝටිපතියෙක් ඔබ අසරණ මනුස්සයෙක්ට ඔබ ඇඳපු ශර්ට් එකක් දෙනවා.
- ඒක පැහැදිලිවම පිනක්.

ඔබ දුප්පත් අසරණයෙක් ඔබට තිබුණ ශර්ට් 3න් එකක් අසරණයෙක්ට දෙනවා.
- ඒක පැහැදිලිවම පිනක් ඒ වගේම බරපතල කුසලයක්.

මොකද කෝටිපති ඔබට ඔය ශර්ට් එක කුණු ගොඩට දාන එකේ මනුස්සයෙක්ට දුන්නා කියලා ඔබට කිසිම අත්හැරීමක් පුරුදු වෙන්නෙ නැහැ. නමුත් ඔබට තියෙන්නෙ ශර්ට් 3ම නම් ඔබ ඒකෙන් එකක් දෙනවා කියන්නෙ ඔබට තියෙන වටිනා දෙයක් ඔබ අත්හරිනවා.

නමුත් වැරදියට වටහාගන්න එපා කුසල් දහම් රැස් කරන්න කියලා බුදුන් වහන්සේ කිවුවෙ සියලු භෞතික දේවල් මිනිස්සුන්ට දීලා පාරේ හිඟා කෑම නෙමෙයි. (මින් පෙර ලිපිවල පැහැදිලි කල ලෙස) ඔබේ සැපසම්පත් එහෙමම තියෙන්න දීලා ඒවා කෙරෙහි තියෙන දැඩි ආසාව අතෑරලා දාන්න. ඒවා තිබුණොත් හොඳයි නැත්තම් ඒත් හොඳයි කියලා හිතන්න පුලුවන් තරමට හිත පුහුණු කරන්න. ඒ පුහුණුවෙන් ඔබ සපුරාගන්නේ කුසල් තමයි. අන්න ඒ කුසල් එහෙම නැත්තම් අත්හැරීමට ඇති කුසලතාවය තමයි ඔබට බුදු දහමේ එන සදාකාලික නිවීම 'නිවන' ට යොමු කරන්නෙ. 

No comments:

Post a Comment