ඔබේ ශරීරය ගැන මීට කලින් හිතුවද?



ඔබේ ශරීරය ගැන ඔබ මීට කලින් හිතලා තියෙනවද? ශරීරයේ තියෙන කොටස් ගැන ශරීර අභ්‍යන්තරයේ තියෙන්නෙ මොනවාද කියලා? මේ පුහුණුවෙන් අපි කරන්නෙ ශරීර අභ්‍යන්තරයේ තියෙන දේවල් සහ සිදුවෙන දේවල් ගැනත් සිහිය පිහිටුවාගැනීමයි.

ඔබ ඔබේ හිසකෙස් වලට ගොඩාක් ආදරේ ඇති, නානාප්‍රකාර දේවල් හිසේ ගල්වලා සත්කාර කරනවා ඇති නමුත් ඒ සියලු හිසකෙස් මුල් දිරා යද්දි හැලෙනවා. අලුත් හිස කෙස් එනවා. වයසට යනකොට තියෙන හිස කෙස් සුදු වෙනවා. හිස කෙස් බිමට වැටුනොත් දිරලා පස් වලට එකතු වෙනවා.

සමහරවිට ඔබ දැනටමත් කණ්නාඩි පළදිනවා වෙන්න පුලුවන් එහෙම නැති නම් ඔබ වාසනාවන්තයි තවමත් ඔබෙ ඇස් හොඳින් පේනවා.‍ කෙසේ වෙතත් ඔය ඇස් දෙක තව වසර ගණනක් ගත වෙනකොට අනිවාර්යෙන්ම පෙනීම අඩු වෙනවා. සමහරවිට නොපෙනීම යනවා.

ඔබේ දත් ටික? හැමදාම මැද්දට හැමදාම මැලියම් තියෙනවා, දවසක් කට නොසේදුවොත් දුගඳ හමනවා. ඒ දත් පුංචි කාලෙ හැලිලා ආයෙ ආවට ආයෙ හැලුනොත් එන්නෙත් නෑ. දත් ටිකත් වයසට යනකොට එක එක හැලිලා යනවා. දත් ටිකත් අවසානයේ මහ පොළොවේ පස් වලට එකතු වෙනවා.

ඔබේ සම රන්වන් පාට කරගන්න ඔබ නොවිඳිනා දුක් විඳලා ඇති, ඔබේ සම සුවඳ වෙන්න කොපමණ දේවල් කරලා ඇතිද? නමුත් වසර 10ක් 20ක් එක දිගට මොන ආලේප ගැල්වුවත් දවස් දෙක තුනක් මේ හම නොසේදුවොත් කුණු තට්ටු හමේ බැ‍ෙඳෙනවා. දහඩිය දුගඳ හමනවා. වයසට යනකොට මේ හම වේලෙනවා. මාංශ පේෂී පිම්බිලා තියෙන කාලේ හොඳට ඇදිලා තිබ්බ හම මාංශ පේශි දිය වෙලා කෙට්ටු වෙලා වයසට යනකොට හම රැලි වැටිලා දිරාපත් වෙනවා. අවසානයේ මේ හම ළූණු පොත්තක් වගේ ඉරිලා ගිහින් පොළවට පස් වෙනවා.

ඔබේ ශරීරය ඇතුලේ තියෙන අංගෝපාංග සමෙන් වැහිලා තමයි තියෙන්නෙ. නමුත් සීමිත දොරවල් කිහිපයක් ශරීරයෙන් පිටතට විවෘත්ත වෙලා තියෙනවා. මේ වැහුණු ශරීරයෙන් එළියට එන දොරවල් සියල්ලෙන් කඳුලු, කබ, කළාඳුරු, කුණු කෙළ, දහඩිය, තෙල් මන්ද, මුත්‍රා, මළ ආදී ඔබ අප්‍රිය කරන දේවල් තමයි එළියට එන්නෙ. වැහුණු ශරීරෙන් ඇරුණු දොරවල් සියල්ලෙන් එළියට එන දේවල් ඔබට අප්‍රිය නම් ශරීරය ඇතුළෙ තියෙන දේවල් කොහොම අප්‍රිය වේවිද?

සමහර අය ඉන්නවා ලේ දැක්කත් ක්ලාන්ත වෙනවා. ඔපරේෂන් එක්ක දැක්කොත් සිහි නැති වෙනවා. ඒ කියන්නෙ මිනිස්සු බයයි තමන්ගෙ ඇඟ ඇතුලෙ තියෙන දේවල් දකින්න. මිනිස්සු බයයි උදේ හවස කණ්නාඩියෙන් හැඩ බලන මේ ශරීරයේ යථා ස්වභාවය දකින්න.

මම ඔබට මේ ශරීරය ගැන උදාහරණයක් කියන්නද? රන් අලේප කරපු කලයක් තියෙනවා. මේක පුරවලා තියෙන්නෙ අසූචි වලින්. මෙන්න මේ වගේ තමයි ශරීරයයත්. වටේට අපි මොන දේ කරගෙන ගියත් ඇතුලෙ තියෙන දේවල් ඉතාමත් පිළිකුල් සහගතයි.

ඉතින් බලන්නකො ඔබ මෙච්චර කල් ලස්සන කාන්තාවන් දිහා බලද්දි ලස්සන පිරිමින් දිහා බලද්දි නිකමටවත් හිතුවද ඔය අසූචි කලයක් කියලා? මින් පස්සෙ එහෙම හිතන්න පුරුදු වෙන්න. හැම දෙයක්ම මතුපිටට පේන දේට වඩා යථා ස්වභාවය දකින්න පුරුදු වෙන එක ඔබට ලොකූ සහනයක් වේවි. ඔබ බොරු වටිනාකම් දීපු දේවල් වල යථා ස්වභාවය ඇත්තටම පිළිකුල් සහගතයි කියලා ඔබට තේරේවි.

අවදානයෙන් හැම දෙයක් දිහාම බලන්න
ඒවායේ යථා ස්වභාවය දකින්න... 

No comments:

Post a Comment