මේ මොහොතේ ජිවත් වෙන්න පුහුණු වෙමු

"අතීතය ගැන නොතැවෙන්න, අනාගතය කෙරෙහි නොබැඳෙන්න,
වර්ථමානය පිළිබඳ සිහියෙන් පසුවන්න" - බුදුන් වහන්සේ



මින් පෙර ලිපියක අපි සාකච්ඡා කලා අතීතය ගැන පසු තැවීම නිසාත් අනාගතය ගැන අනිසි බියකින් පසුවීම නිසත් තමයි මිනිස්සු නිරතුරුවම හිත් පිඩා විඳින්නෙ කියලා. ස්ව උත්සාහයෙන්ම යථා ස්වභාවය අවබෝධ කරගෙන හිතේ දුක නැති කරගෙන 'සැබැවින්ම නිවුනු' බුදුන් වහන්සේ ගේ දේශනාවත් අතීතය ගැන නොතැවී අනාගතය ගැන නොබැඳී වර්ථමානයේ සිහිය පවත්වාගැනීමයි.

මේක තමයි ඔබේ පලමු පුහුණු අභියෝගය.

උදෑසන නැගිට්ට මොහොතේ පටන් සෑම තප්පරයකම ඒ මොහොතේ සිහිය පවත්වාගන්න උත්සහ කරන්න. අතීතයේ උන දෙයක් මතක් වෙනකොට ඒක මතකයට නැගෙන බවත් සිහිය පවත්වාගන්න. ඔබ කරන්නේ කුමක්ද ඒ දේ ඔබ කරන බව පමණක් සිතන්න. තේ එක බොනකොට තේ එක බොන බව හිතන්න, ආහාර ගන්නකොට ආහාර ගන්න බව හිතන්න, අතුගානකොට අතුගාන බව පමණක් හිතන්න, රාජකාරී කටයුත්තක් නම් එ් බව හිතන්න.

ඔබ සාමාන්‍ය ජීවිතයේ මීට කලින් ඔබ තේ එක බොන්න ඇත්තේ දවසේ වැඩ ගැන හිත හිත, කන්න ඇත්තෙ වෙනත් දෙයක් හිත හිත, ඔබ දවසේ වැඩිම වෙලාවක් ඒ මොහොතේ ජිවත් වෙන්නෙ නෑ. එසේ ගත වෙන ජිවිතයක ඔබ ජිවිතයේ කිසිම මොහොතක ජිවත් වෙලා නැහැ. නිසැකයි ඔබට වෙනස් දැනේවි. ජීවත් වෙන බව දැනේවී.

මොකද ඔබ වර්ථමානය ගැන සිහිය පවත්වාගන්නවා කියන්නෙ අතීතය ගැන දුක් වෙවී ඉන්න ඔබට බැහැ අනාගතය ගැන බියෙන් හිත හිත ඉන්න ඔබට බැහැ. ඉතින් ඔබ දුක කියන දේ දැනටමත් බොහොමයක් නැති කරගෙන.

නමුත් ඔබ කියාවි ඔබට නොදැනිම ඔබේ හිත අතීතයට දුවනවා. ඔබට නොදැනිම ඔබේ හිත පාලනයෙන් මිදිලා යනවා. කමක් නැ හිත පැනලා ගිය බව දැනගත්තු ගමන් ආයෙත් වර්ථමානයට සිහිය තියාගන්න. ආයෙත් පැනලා යාවි ආයෙත් උත්සාහයෙන් වීර්යයෙන් හිත මේ මොහොතට පිහිටවගන්න. නොබෝ කලකින් එය ඔබේ දෛනික පුරුද්දක් වේවි. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ හිත් හැම තැනම විසිරිලා තිබුණට ඔබේ හිත එක් තැනක තියාගන්න නිරායාසයෙන්ම ඔබ පුරුදු වේවි.

ඔබ කිසි විටෙක හිතන්න එපා මට මේක බැ කියලා. සාමාන්‍යයෙන් මිනිස්සු 99.99%ක්ම මේ මොහොතේ ජීවත් වෙන්නෙ නෑ. ඔබට මේක පුරුදු කරනකොට දැනෙයි අනිත් මිනිස්සු දුක් වෙවී ඉද්දි, අනිත් මිනිස්සු කේන්ති අරගෙන ඉද්දි ඔබ නිවිලා කියලා. ඔබට ඔබේ හිතට පුදුම නිවීමක් දැනේවී.

සැ.යු. - ඔබට යම් වෙලාවක හිත මේ මොහොතේ තියාගන්න ඉතාමත් අපහසු නම් ක්ෂණිකව ඔබේ හුස්ම වැටීමට අවධානය යොමු කරන්න. බලන්න ඔබ ගන්නෙ දිගු හුස්මක්ද, කෙටි හුස්මක්ද කියා. බලන්න නාස් පුඩු වලින් සුළඟ ඇතුළට ගිහින් මදක් උඩට ගොස් නැවත හෙමින් පහළට පෙනහළු දෙසට යන හැටි. බලන්න පෙනහළු හැකිලෙන ගමන් ආයෙ හුස්ම උඩට ඇවිත් නාස් පුඩු වලින් පිටවෙන හැටි. මෙලෙස විනාඩි 2, 3ක් කල්පනාවෙන් හිටියට පස්සෙ ඔබේ හිත නිරායාසයෙන්ම එකතැන් වෙලා තියෙනවා.

උත්සහ කරන්න...
දිගටම නීවීමට පාර ‍හොයමු... 

No comments:

Post a Comment