ලෝකයම කමටහනක් කරගන්න

ඔබ මේ නිවීමේ මඟ පුහුණු කරගෙන යනකොට ඔබට දැන් මේ ලෝකේ අස්ථිර බව වෙනස්වන සුළු බව හොඳින් වැටහෙනවා. ඔබ දැන් ධර්මය හොඳින් දන්නවා. නමුත් එයම නොවෙයි අවබෝධය. ඔබ දැන් මේ ධර්මය ලෝකය තුලින් දැකිය යුතුයි. එය ඔබ සිතන තරම් බැරෑරුම් දෙයක් නොවෙයි. හිතන්න ඔබ පාරේ ගමන් කරමින් යන මොහොතක හමුවෙන මිනිස්සු, හොඳට ඇඳ පැළඳගත් විවිධ කොණ්ඩ මෝස්තර විලාසිතා දාපු තරුණ තරුණියන්, දරුවන් වඩාගෙන යන මදක් වැහැරුනු මැදි වියේ කාන්තාවන්, සෙමින් ගමන් කරන හිස කෙස් ඉදුනු හම රැලි වැටුනු වයසක මිනිසුන්, නැගිටගැනීමටවත් නොහැකිව පාරේ අයිනේ වැතිරී සිටින අන්ත අසරණ මහල්ලන්. චිරාත් කාලයක සිට මේ චක්‍රය මෙලෙසම සිදු වෙනවා, තරුණ අය මැදි වියටත් මැදි වියෙන් මහළු වියටත් පත් වෙනවා පාරේ ය‍නවිට මේවා දකින විට මේවා මෙනෙහි කරන්න එය ඔබ ඇසූ ධර්මය ලෝකය තුලින් දැකීමේන් අවබෝධය ඇති කරයි.

හිතන්න ඔබ ගසක් යට ඉන්නා විට ගහේ තියෙන ලා දළු, හොඳින් පැසුනු තද වර්ණයෙන් යුත් කොළ, බිම වැටීමට සුදානම් වන ඉදුනු කොළ, බිම වැටී ඇති මදක් දිරා ගිය කොළ, බිම වැටී දිරාගොස් නාරටි පමණක් ඉතිරිව ඇති කොළ. ඔබේ ශරිරයත් මෙසේම දිරා යනු ඇත. ඒ බව නිරතුරුවම මෙනෙහි කරන්න. ගසේ කොළ බිම වැටෙනවා මැළවිලා යනවා දිරලා යනවා එසේම මේ ලෝකෙ තියෙන හැම දේම ඒ වගේ දිරලා යනවා විනාශ වෙලා ම යනවා. එහි වෙනස වන්නේ එයට ගත වන කාලය පමණයි.

හිස කෙස් සකස් කරන විට පීරන විට පනාවට හිස කෙස් එක දෙක ගැලවිලා එනවා, හිතන්න මෙනෙහි කරන්න ඔබ ආද‍රයෙන් බලාගන්න හිස කෙස් එකිනෙක ගැලවිලා යනවා අලුත් හිසකෙස් එනවා ඒවත් නැවත ගැලවිලා යනවා. මේ සියල්ල නිරතුරුවම චක්‍රයක් ලෙස සිදු වෙනවා.

ඔබ ආසාවෙන් ගන්නා ආහාර ඉතුරු උනාම කුණු ගොඩට දානවා හැබැයි හොඳට බලන්න දවස් දෙකක් කුණු ගොඩ ඉවත් නොකළොත් ළඟට යන්න පුලුවන්ද? බැහැ නේද? දින දෙකකට කලින් ඔබ ආසාවෙන් ප්‍රිය කරමින් කාපූ කෑම දිහා අද ඔබ බලන්නවත් කැමති වෙන එකක් නැහැ. එසේම ඔබේ කුස ඇතුලේ සිදුවන්නේත් අන්න ඒ දේමයි. ඔබ බලන්නවත් අකමැති උන අර කුණුගොඩ වගේම එකක් ඔබ කුසින් දරාගෙනයි නිතරම ඉන්නෙ.

ඔබ කෙසෙල් කාලා ඇති, ඊළඟ පාර කෙසෙල් ගෙඩියක් කෑවම කෙසෙල් ලෙල්ල විසි කරන්න එපා ලස්සන කහ පාට ගෙඩියක් ඔබ තොරගෙන කාලා කහ පාට ලස්සන ලෙල්ල ඔබ ඉදිරියෙන් තියාගන්න. තියාගෙන ඔබ හිතන්න මේක හරිම ලස්සනයි කහ පාටයි කහ පාටයි කහ පාටයි කියලා. ඔබට වැඩි වෙලාවක් ඒක කියන්න වෙන්නෙ නැහැ මිනිත්තුවක් දෙකක් යනකොටම බලාගෙන සිටියදී ම කෙසෙල් ලෙල්ල කළු පැහැ වෙලා යාවි. අන්න ඔබේ ශරීරයත් ඒ වගේ. ලස්සනයි ලස්සනයි කියලා කොයි තරම් දේ කලත් බලාගෙන සිටියදීම ජරාවටපත් වෙනවා.

ඔබ දවසේ වැඩකටයුතු අතර විවිධ මිනිස්සු දකිනවා ඇති උදේට බොහෝම සුවඳට ලස්සනට ඉන්න මිනිස්සු හැමෝම හවස 5ට වැඩ ඉවරවෙලා එනකොටත් ඒ වගේම සුවදයිද? ප්‍රියයිද? මෙනෙහි කරන්න කොච්චර හොඳට සත්කාර කරලා සුවඳ ගල්වගෙන හිටියත් පැය 8,9 යනකොට ඒ සියල්ල නැති වෙලා ගිහින් ශරීරයේ ස්වභාවික දුර්ගන්දය හමනවා. සැබෑ ස්වභාවය මතුපිටට එනවා. ඉතින් ඔබ මේ ශරීරයට තව දුරටත් ආශා කරනවා ද? ඔබේ ශරිරය වගේම තවත් නොවටිනා ශරීරයන්ට බොරු වටිනාකම් දෙනවාද?


No comments:

Post a Comment