ලෝකය නම් අන් කිසිවක් නොව ඔබයි



ඔබට ලෝකය කියනකොට මොකක්ද මතක් වෙන්නෙ? අපි සමස්ථ ලෝකය ගැනම සලකා බලන්න කලින් ලෝකයේ එක් දෙයක් ගැන මුලින් සාකච්ඡා කරමු.

'පුටුවක්' මේ පුටුව දිහා පියවි මනුෂ්‍ය ඇස් දෙකෙන් බලන ඔබට මේක ලස්සන පුටුවක්, ඇස් නැති අන්ධ මනුස්සයෙක්ට මේක නිකන්ම පුටුවක්, බල්ලෙක්ට කලු සුදු පුටුවක්, වවුලෙක්ට මොකක් හරි වස්තුවක්, අපිට වඩා තියුණු දෘෂ්ඨියක් තියෙන (පිටසක්වල ජීවියෙකු හෝ දෙවියෙකුට) ජීවියෙකුට සමහරවිට මේ පුටුව මතුපිට විතරක් නෙමෙයි ඇතුලත් පේනවා වෙන්න පුලුවන්. හොඳයි අපි මේ පුටුව කෑලි කෑලි වලට ගැලෙවුවොත් ඒකට පුටුවක් කියනවද? නෑ ඒක ලී ගොඩක්. ඔය ලී ටිකට ගුල්ලො ගැහුවම ගුලු කුඩු ගොඩක්.

මින් තේරුම්ගන්න ඕනෙ මේකයි මනුෂ්‍යය ඇස් ඇති ඔබ ඔබේ මට්ටමට පේන විදිහට පුටුව ගොඩක් ලස්සනයි කියලා ඒකට බැඳිලා ඒකට වටිනාකම් දෙනවා. ඔබ දකින්නෙ නෑ මේක කවදාහරි දිරා යන ලීගොඩක් විදිහට. ඇස් නැති ස්පර්ෂයෙන් හඳුනාගන්නා අන්ධයාට මේක ඉඳගන්න මොකක් හරි එකක්. සත්තුන්ටත් ඒ වගේම විවිධ විදිහට පේනවා.

දැන් ඔබ හොඳින් හිතලා බලන්න මේ ලෝකේ කියලා අපි මෙච්චර කාලයක් බලපු බොහෝ දේවල් වල යථා ස්වරූපය දිහා අපි මින් පෙර බලලා නෑ නේද කියලා. ඔබ දන්නවා වර්ථමානය වෙනකොටත් පරීක්ෂණ කරනවා කිරණ මඟින් ‍සොයාගැනීම් කරලත් තියෙනවා යම් වස්තූන් විනිවිධ දකින්න. ඔබේ ඇස් මට්ටම කියන්නේ නිවැරදිම මට්ටමයි කියලයි අපි තීරණ ගන්නෙ, හරියට බල්ලා හිතාගෙන ඉන්නවා මුලු ලෝකෙම කලු සුදුයි කියලා. බල්ලා දන්නෙ නෑ පාට තියෙනවා කියලා. අපි දන්නවා පාට තියෙනවා කියලා. නමුත් අපි නොදන්න අපිටත් නොදැනෙන යම් යම් දේවල් තියෙන්න පුලුවන්. සමහර කැමරා වලට සංවේදී වෙන දේවල් අපේ ඇහැ‍ට සංවේදී නැහැනෙ.

මම ඔබට කියන්නේ ඒ නිසා මේ ඇහැ හැම වෙලේම විශ්වාස කරන්න එපා මොකද මේ ඇහින් දකින දේවල් අපේ ඇහැට සාපේක්ෂව පේන දේවල්. අපි මේ කෙරෙහි යථා ස්වභාවය නොදැන බැඳෙනවා නම් අපි කරන්නෙ ලොකු වරදක්.

අපි තව උදාහරණයක් ගමු එතකොට හොඳටම පැහැදිලි වේවි, 'සුනාමි ශබ්ද තරංග' ඔබටත් ඇහුනද? නැත්තන් ඔබ දියුණුයි කියන මිනිස්සුන්ගෙ කන් වලට ඇහුනද? නැහැ නේද? එහෙනම් හිතන්න ඔබට වැඩිය ගෙදර ඉන්න බල්ලාට කොච්චර හොඳට ඇහෙනවද? ඒත් අපි කනට ඇහෙන මිහිරි ශබ්ද කියලා කොච්චර බදාගන්නවද ඒ උනාට හිතන්න අපිට ඇහෙන්නේ ඒ ශබ්දයෙන් එක් සීමාවක් විතරයි. එහෙනම් ඒ කනට ඇහෙන දේත් තමන්ගේ ශ්‍රව්‍ය පරාසයට සාපේක්ෂයි. සමහරවිට ඔබ මිහිරියි කියන ශබ්දයේ සම්පූර්ණ පරාසායම අහන්න ලැබුනොත් ඔබ ඒකට අමිහිරියි කියාවි. ශ්‍රව්‍ය පරාසයෙන් කොටසක් පමණක් අහලා ඔබ මුලු ශබ්දයම හොඳයි නරකයි කියලා තීරණය කරනවා. ඉතින් හිතන්න කොච්චර මෝඩද?

ඇස, කන, නාසය, දිව, සම යන සියලුම මිනිස් ඉන්ද්‍රියන්ට අහු වෙන්නෙ සීමා සහිත පරාසයක්. ඉතින් අපි මේ ලෝකෙ කියලා, වර්ණ කියලා, ශබ්ද සුවඳ රස ස්පර්ශ කියලා අල්ලගන්නෙ යම් සීමාවක්. සැබෑ ලෝකය මොන වගේද සැබෑ මිනිස් ශරීරය මොන වගේ ද කියලා මතුපිටින් විතරක් පේන ඇහින් වත්, ශ්‍රව්‍ය පරාසයෙන් කොටසක් අහු වෙන කනට වත් අනිත් ඉන්ද්‍රියකට වත් අහු වෙන්නෙ නැහැ. අන්න එහෙනම් දැන් හිතන්න අපි මේ ලෝකය කියලා හිතාගෙන ඉන්න, ආදරේ කරන, ආශා කරන දේවල් වල යථා ස්වභාවය අපිට අහු වෙන්නෙ නැහැ.

No comments:

Post a Comment