නිවන යනු (සංයෝජන සූත්‍රය)

භාග්‍යවතුන් වහන්සේ හමුවට එන එක්තරා දෙවියෙකු අසන ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් නිවන පිළිබඳ විස්තර කරන අවස්ථාවක්  සංයුක්ත නිකායේ සංයෝජන සූත්‍රය ඇසුරෙන් විස්තර කරනු ලැබේ. එනම් ලෝකය රාගයෙන් බැඳී ඇති බවත් එහි ඇවිදින පාදයන් නම් කාමාදී විතර්කයන් බවත් තණ්හාව නැසීමෙන් නිවන උදාවන බවත් ඒ දෙවියන්ට භාග්‍යවතුන්වහන්සේ විසින් විස්තර කර දෙන ලදි.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
2. ´´ලොව කුමක් බැඳුම් කොට ඇත්තේද? එහි ඇවිදින පාදයෝ කවරහුද? කුමක් නම් වෙසෙසින් පහ කිරීමෙන් නිවන වේයයි කියනු ලැබේද?´ 
3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ලොව රාගය බැඳුම් කොට ඇත්තේය. (කාමාදී) විතර්‍කයෝ එහි ඇවිදින පාදයෝයි. තණ්හාව වෙසෙසින් නැසීමෙන් නිවන වේයයි කියනු ලැබේ.´´

No comments:

Post a Comment