බුදුන්ගේ අවසාන ඉල්ලීම

"මහණෙනි, සියළු සංස්කාර ධර්මයෝ (හේතු නිසා හටගත් දෑ ‍හේතු නැතිවීමෙන්) නැසෙන සුළුය. නොපමාව කුසල් දහම් සම්පාදනය කරන්න" ඒ මෙලොව අසීමිත වන්දනාමානයන්ට හා පූජෝපහාරයන්ට පත් වන ගෞතම බුදුන් වහන්සේගේ අවසන් වචනයයි.  මදක් සිතා බලන්න අසීමිත වන්දනාමාන පුජෝපහාර කරත් අපි උන්වහන්සේගේ අවසාන ඉල්ලීම වත් ඉටු කර ඇතිද කියා...?
  • පාණාතිපාතය (සතුන් මැරීම)
කිසිම සතෙකුගේ ජීවිතය චේතනාන්විතව නැති නොකළ යුතුය. නොදැන සිදුවන දෑ මෙයට අදාල නොවේ. (උදාහරණ - ජලය පානය කිරීමේදී ක්ෂුද්‍රජීවින් මියයාම, නොදැනී කුහුඹුවකු පෑගීම) හිතා මතා සිදුවන හෝ සිදුකරන සියලු සත්ව ජිවිත නැති කිරිම් වලින් හා සත්ව හිංසාවෙන් වැලකීම.  
  • අදත්තාදානය (සොරකම)
අන් සතු දෑ සොරකම් කිරීමෙන් වැලකිය යුතුය. එමෙන්ම මෙහිදී තමාට අයිති නැති දෑ නොගැනීමට වග බලාගත යුතුය. (උදා- වංචා කර මුදල් ඉපැයීම, රැකියාව කරන තැනට බොරු කර වැටුප් ගැනීම) 
  • කාමමිත්‍යාචාරය (කාමයෙහි වරදවා හැසිරීම)
සම්මත ලෝකය තුල තමාට හිමි බිරිඳ හෝ සැමියාගෙන් තොරව අන් සැමියෙකු හෝ බිරිඳක ගේ පහස ලැබීමට ඔබ නොයා යුතුය. 
  • මුසාවාදය (මුලාකිරීම)
විහිලුවකට වත් කිසිවෙකු රැවටීමේ මුලා කිරීමේ අරමුණින් තමන් දන්නා දෙයක් නොදන්නා බව හෝ නොදන්නා දෙයක් දන්නා බව කීමෙන් ද, තමා යමක් ගැන හොඳින්ම දැන ඒ පිළිබඳ බොරු කීමෙන්ද වැලකිය යුතුය. 
  • පිශුනාවාචය (භේදකිරීම)
කේලාම් ආදීය කීමෙන් කිසිවකු භේද කිරීමට හෝ වරප්‍රසාද ලබාගැනීමට උත්සහ නොකළ යුතුය. 
  • පරුෂාවාචය (පරුෂ වචන කීම)
සමාජ රටාවේ නපුරු සැර පරුෂ වචන (කිසිවකුගේ හිත් රිදෙන වචන) භාවිත කිරීමෙන් වැලකිය යුතුය. 
  • සම්ඵප්ප්‍රලාපය (හිස් වචන කීම)
ඔබටත් අන් අයටත් ඵලක් නැති හිස් වචන කතා කිරීමෙන් වැලකිය යුතුය
  • අභිධ්‍යාව (අන්සතු වස්තු තමාගේ වේවායි සිතීම)
අන් සතු වස්තුව දේපල හෝ වෙනත් දෙයක් තමාට නැති බව සිතමින් කෝප ගැනීම ද ඒවා තමාගේ විය යුතු යැයි සිතමින් සිටීමද නොකළ යුතුය.
  • ව්‍යාපාදය (අන්‍යයෝ නැසේවායි සිතීම)
අන් අය කෙරෙහි වෛර උපදවාගෙන ඒ අය විනාශ වේවා යැයි නොසිතිය යුතුය
  • මිථ්‍යාදෘෂ්ඨිය (නිවැරදි දැකීමෙන් තොර වීම) 
බුදුන් දේශනා කළ ධර්මයට අනුව (අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස) ලෝකය දෙස දැකීම සහ තමාගේ ආකල්ප පෝෂණය කරගැනීම සම්මා දිට්ඨිය වන අතර එයින් භාහිරව ලෝකය නිත්‍යයි සුඛයි ආත්මයි යනුවෙන් දැකීම මිත්‍යාදෘෂ්ඨියයි. 

මෙසේ සඳහන් කළ අකුසලයන්ගෙන් තොර වීම එනම් කුසල් දහම් සම්පාදනය කිරීමෙන් ඔබ ආර්ය මාර්ගයට පිවිසේ. බෞද්ධයකු ලෙස ඔබ කුමන පුජෝපහාර කරත් බුදුන්වහන්සේ ගේ අවසාන ඉල්ලීම වත් ඉටු නොකරනවා නම් ඔබ කිසි විටකත් සැබෑ බෞද්ධයෙකු නොවනු ඇති.

No comments:

Post a Comment