නීවීමේ සුවයටවත් නොඇලෙන්න

කිසිදු ස්ථිර භාවයක් නැති භෞතික දෑට ඇති ආසාව අත්හැරලා දාලා, නොවටිනා දෑට මෙතුවක් දුන් වටිනාකම් ඉවත් කරලා දැම්මට පස්සෙ ඔබට නිසැකවම ලොකු නිදහසක් දැනේවී. අන්න ඒ සතුට ඇත්තටම ඔබට මෙතුවක් නොදැනුන වෙනස්ම සතුටක් වේවි. ඇත්තටම ඒ සතුට කියන්නෙ නැතිවෙන්නට කිසිවක් නැති, රකින්නට අවශ්‍යයි කියලා කිසිවක් නැති මනසින් ඇති කරගෙන තිබුණ සියලු බැඳීම් වලින් නිදහස් වීමේ සතුටයි. මේ සතුට එක වර ලැබෙන එකක් නෙමෙයි මේ සතුට පියවරෙන් පියව‍ර ටිකෙන් ටික වැඩෙන සතුටක්. නිවීමේ මාර්ගයට යන ඔබට මෙතුවක් හිතේ තිබුණු දැවීම පිපාසය නැති වෙලා සිසිලස නිවීම දැනෙනකොට මේ සිසිලසට ලොකූ ආසාවක් ඇති වේවී. නමුත් පැහැදිලිවම මතක තබාගත යුතුයි මේ සුවයට උවත් දැඩි ලෙස නොඇලිය යුතුයි. යම් හෙයකින් ඔබ වඩන මාර්ගය කඩා වැටුනොත් ඔබට එයින් දැඩි ලෙස කම්පාවට පත්වීමට සිදු වේවී. එබැවින් කිසි විටෙක මෙම නිවීමේ මාර්ගයට නොඇලෙන්න වග බලාගන්න.

ඇලීම් ගැටීම් නැති සිත බොහෝ ප්‍රභාශ්වර බවත් ගෙනදේවී. ඔබට පරිපූර්ණ නිදහසක් ගෙනදේවී. විඩාවකින් තොර දුකකින් තොර සදාකාලික වූ සුවයකට සිත පත්වේවි. නමුත් එයට මේ ලෝකයේ ඇති බැඳීම් පමණක් බිඳ හෙළීම ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ඔබ අනාගත ආත්මයන්ගේ දිව්‍ය සැප සම්පත් ලබන්න හිතාගෙන ඒවා ගැන ආසාවෙන් ඉන්නවා නම් ඔබ මේ ලෝකෙට නොබැඳුනත් ඔබ දිව්‍ය සැප සම්පත් වලට බැඳිලා. දිව්‍ය සැප සම්පත් වුවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව මතක තබාගන්න. සාපේක්ෂව මෙලොවට වඩා වැඩි ආයුෂ වැඩි සැප සම්පත් තිබුණත් එහිද දුක පවතිනවා, එපමණක් නොවෙයි දිව්‍ය ආත්මයෙන් පස්සෙ ඔබ අපාගත වෙලා නිරා දුක් විඳීමටත් ඉඩකඩ තියෙනවා. ඒ නිසා නිසැකවම මතක තබාගන්න මෙලොව බැඳීම් වලට විතරක් නෙමෙයි අනාගතයේ දිව්‍ය සැප හෝ වෙනත් කිසිදු සැපයකට නොඇලෙන්න මතකයේ තබාගන්න.

සතර අපායේ නිරා දුක් විඳින තිරිසනුන් ප්‍රේතයන් අසුරයන් ආදී සත්වයන් එලෙස දුක් විඳන්නේ මෙලොවට හෝ වෙනත් සැපසම්පත් වලට දැඩි ලෙස ඇලී ගැලී වාසය කල නිසයි. එසේ නම් බුදු වරයෙකු මෙලොව පහලව ඇති මෙතරම් වාසනාවන්ත කාලයක ඉපිද ඔබත් ඒ ධර්මය නොඅසා ඒ ධර්මයට අනුව බැඳීම් හා ගැටීම වලින් තොර සදාකාලික විමුක්තිය නොලබා නිරයේ දුක් විඳිනවා නම් ඔබ කොතරම් අවාසනාවන්තද?

බිහිවූ යමක් ඇත්ද, ඒ සියල්ලම ක්ෂය වි යයි. සියල්ලම විනාශ වී යයි. සියල්ලම දිරා පත්වී යයි. සියල්ලම නැති වී යයි. මේ සියල්ල නැති වෙන බව දැන දැනත් ඒ බව නොසිතා ඒවා ස්ථිරයයි සිතමින් ඒවායේ ඇලි ගැලී වාසය කරයි නම් ඔබ මෝඩකමින් වැසී පවතියි. ඒ මෝඩකම නිසා ඔබ ඒ අස්ථිර සම්පත් ගැන දැඩි ආසාවෙන් පසු වේ, ඒ මෝඩ කම නිසාම ඒ සම්පත් ලබාගැනීමට සටන් කරයි ලැබීමට නොහැකී වූ විට ද්වේශ කරයි. මේ සියල්ලට හේතුව ඔබ අනිත්‍ය දේ අනිත්‍ය ලෙසත් දුක් සහිත දේ දුක් සහිත ලෙසත් අනාත්ම හෙවත් තමන්ගේ නොවන දේ එලෙසත් නොදැකීමයි. ඔබ ඔබේ දැකීම නිවැරදි ලෙස සකස් කරගත් විට ඔබට සියලු දේ නිවැරදි ලෙසම පෙනෙනු ඇත. එවිට ඔබට අවබෝධය පහළ වනු ඇත. ඥාණය උදාවනු ඇත. ප්‍රඥාව පහළවනු ඇත. 

No comments:

Post a Comment