සාම්ප්‍රදායික රාමු ඔබව හිර කරයි



ඔබේ උපතේ සිට මරණය දක්වාත් උදෑසන නැගිට්ට මොහොතේ සිට නැවත නින්දට වැටෙන මොහොත දක්වාත් සාම්ප්‍රදායිකව සමාජය විසින් ගොඩනගපු රාමු ගොඩකට හිර වෙලා ජීවත් වෙනවා. අන්න ඒ රාමු වැදගත්ය ඒ රාමු තුලම අප සිටිය යුතුය කියලා මතයක් තියාගෙන ඒ රාමු වලින් පිට යමක් උනාම චිත්ත පීඩා ඇති කරගන්නවා.

උදේ නැගිටිනකොට ඇඳ ළඟට තේ එක ඕනෑය කියලා හිතින් රාමුවක් හදාගෙන ඉන්න කෙනෙක්ට වැරදිලා වත් තේ එක නැති උනොත් එදා දවසම කේන්තියෙන් පුපුර පුපුර ගත කරන දවසක් වෙනවා. හිතන්න තමන්ම එහෙම දැඩි රාමුවක් හදාගෙන නොහිටියා නම් තමන්ගේ දවස පුරාවට චිත්ත පිඩාවෙන්න ඉන්න වෙයිද?

ගෙදර මේවා උයලා තියෙන්න ඕනෙ, ජාති 3ක් වත් තියෙන්න ඕනෙ කියලා හිතින් රාමුවක් හදාගෙන ඉන්න කෙනා ගෙදර එනකොට බැරි වෙලාවත් ජාති දෙකයි, කැමති දෙයක් නැති උනොත් චිත්ත පිඩාවට ලක් වෙනවා. කේන්ති ගන්නවා. හිතන්න ඔය වගේ රාමුවක් නැති කෙනෙක් ගෙදර ආවොත් ඒ කෙනා ඔය ආහාර සතුටින් භුක්ති විඳලා හිත සතුටින් පුරවගනියි. එකම කෑම නිසා එක්කෙනෙක් කේන්ති ගන්නයි එක්කෙනෙක් සතුටු වෙන්නයි මොකද්ද වෙනස? ඒකට හේතුව තමයි ඔබ හදාගත්තු දැඩි රාමු! ;

ඇත්තටම ඔබ හිතලා බැලුවොත් මේ විදිහට ලෝකයෙන් තමන්ට ලැබෙන දේවල් ගැන තමන් හැසිරිය යුතු ආකාරය ගැන තමන්ගේ තත්වය ගැන ආදි විවිධ දේවල් වලට රාමු හදාගෙන ඒ රාමු අතර හිර වෙලා ඉන්න තුරාවට ඔබ පිඩනයකින් පසු වෙනවා.

ඔබ පුුරුදු කලොත් මේ රාමු වලින් අත්මිදිලා නිදහසේ සියලු දේ භාරගන්න, ඔබ නිසැකවම හිත් පීඩා වලින් තොර ඉතාමත් නිදහස් ජීවිතයක් භුක්ති විඳියි. අන්න ඒ ලබන නිදහස ඔබ කොයි තරම් උසස් උනත් කොයි තරම් මුදල් තිබුණත් ඔබට මිලදී ගන්න පුලුවන් දෙයක් නෙමෙයි.

හිතන්න ඔබට අද තේ එක නැත්තම් 'ආහ් කමක් නෑ හැමදාම තේ බොනවනෙ' අද යන ගමන් කොළ කැඳ එකක් බොනවා. මොන කෑම කෑවත් ඒ රස දිවට දැනෙන්නෙ ඒ මොහොතට විතරයිනෙ. ඔන්න ඔහෙ බඩ පිරෙන්න මොනවා තිබ්බත් කමක් නෑ කියලා. අන්න ඒ කෙනා ජාති 2ක් තිබ්‍බත් සතුටින් කනවා, 3ක් තිබ්බොත් තවත් සතුටු වෙනවා, තේ එක ලැබුණ දාට ආහ් අද තේ තියෙනවා කියලා තවත් සතුටු වෙනවා.

සතුටින් ගත කරන්න තියෙන ජීවිතය මොකටද මේක මෙහෙම වෙන්නයි අරක අරහෙම වෙන්නයි කියලා බොරු රාමු හිතින් හදාගෙන ඒවා එහෙම නොවුනම දුක් වෙන්නෙ. ලබාගන්න උත්සහ කරන්න, ඒ වගේම කුමක් ලැබුණත් ලැබෙන දේ භාරගන්න. එවිට නිතරම සතුට ළඟ  රැඳේවි

ඔබ වඩාත් පුළුලුල්ව හිතලා බැලුවොත් තේරෙයි මේ රාමු ම නෙමෙයි ගැටලුවට හේතුව ඒ රාමු තදින් අල්ලගෙන ඉන්න එකයි කියලා. මා ඔබට කියන්නේ සාම්ප්‍රදායික රාමු එලෙසම තිබුණාවේ, ඔබ ඒ රාමු තුල ඉන්න කැමති නම් එසේ ඉන්න නමුත් ඔබ ඒ රාමු තුලම සිටිය යුතුයි කියලා සීමා පනවගෙන හිත් පිඩා විඳින්න එපා. රාමු රාමු ලෙස තියෙන්න දිලා ඔබ ඒ කෙරෙහි බැ‍ෙඳෙන්නෙ නැතිව ඉන්න. 

No comments:

Post a Comment