ඔබත් උම්මන්තකයි නේද? ප්‍රතිකාර ගමුද?



ස්වභාවයෙන්ම මිනිස් සිත මුලාවන සුළුයි. විශේෂයෙන්ම සැප සම්පත් ළඟදි ඔබේ නෙතත් සිතත් සියලුම ඉන්ද්‍රියනුත් ක්ෂණිකව මුලා වෙනවා. හරියට උන්මන්තකයෙක් වගේ, ඒකනෙ 'සබ්බේ පෘතඃජනා උම්මත්තකා' (සියලු පෘතඃජන, එනම් ආශාවල් ඉවත් නොකළ මිනිසුන් උන්මන්තකයන් ය) කියන්නෙ. ඔබට හිතාගන්න වත් බැරි විදිහට ඔබ මුලා වෙනවා.

මා ඔබට උදාහරණයක් කියනවා, ඔබ රූපවාහිනී නරඹලා ඇති, හොඳට කල්පනා කරලා බලන්න ඔබ රූපවාහීනී යන්ත්‍රයෙන් ඇස් ඉවතට නොගෙන ඔබ කැමතිම නාට්‍යයක්, චිත්‍රපටියක් බලනකොට ඒ අතරමැද දි ඔබට රූපවාහිනී යන්ත්‍රය (තිරයේ යන දර්ශණය නොවෙයි) ඔබ කිසි විටක දකින්නෙ නෑ. ඔබ ඉන්දියානු ටෙලිනාට්‍යක් බලද්දි ඔබ ඒ මොහොතේ ඉන්නේ ඉන්දියාවේ. ඒකනෙ ගෙදර බිඳගෙන ගියත් සමහර අය නොදන්නෙ. හිතන්න ඔබ ඒ මුලාවේ වැටුන බව දැන සිටියාද? ඔබට නොදැනිම ඔබ උන් හිටි තැන් අමතක කරගෙන ඔබ මනඃකල්පිත ලෝකයකට යනවා.

හැබැයි ඔබ අකමැති දෙයක් යනවා නම් ඔබට නිතරම රූපවවාහිනී යන්ත්‍රය පෙනේවී. ඒ මොකද ඔබේ හිත ඒ දර්ශණයට ඇලිලා යන්නෙ නැති නිසා. තේරුණා නේද අන්න ඒ වගේ තමයි ඔබට හොඳ සැප සම්පත් පේනකොට ඔබ උන් හිටි තැන් අමතක කරගෙන උම්මන්තකයෙක් වගේ හැසිරෙනවා. හැබැයි දුකක් අසරණ කමක් දැනෙනකොට මේ ලෝකෙ තමන්ට ඉන්නෙ තමන් විතරයි කියලා, මේ ලෝකෙ දුකයි කියලා යතාර්ථය දකිනවා. (හැබැයි ඒ යතාර්ථය දැකීම තාවකාලිකයි, නැවත සැප ලැබෙනකල් විතරයි)

ඔබ සැබෑ ලෝකය දැකිය යුතුයි. සැබෑ ලෝකය හරියට සුදු බිත්තියක් වගේ. සිතේ ( ආශාවන්, තරහ, අනවබෝධය ආදී) කෙලෙස් ඔබ ඒ බිත්තියෙ සිතුවම් කරනවා. ඊට පස්සෙ ඔබ හොඳින් කල්පනා කරලා බලන්න බිත්තිය දිහා බලන හැම මොහොතකම උඩට මතු වෙලා පේන්නෙ බිත්තිය ද නැතිනම් බිත්තියේ ඇඳි සිතුවම ද කියලා. මේ ඇඳපු සිතුවම් ඔබෙන් සැබෑව වසන් කරලා මුලාවකට ඇදලා දානවා. යම් පුද්ගලයෙක් අන්න ඒ සිතුවම් ටිකෙන් ටික හෝදලා දානවා නම්, ඉන් පස්සෙ සිතුවම් ඇඳීම වලක්වනවා නම් අන්න ඒ පුද්ගලයාට ටිකෙන් ටික බිත්තියේ පැහැය, බිත්තියේ ස්වභාවය දකින්න පුලුවන් වෙනවා.

අන්න ඒකයි මේ සැබෑ ලෝකය සැබෑවටම දකින්න උගන්නපු ශෘස්තෘවරයා අවසාන මොහොතෙත් දේශනා කලේ "සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි, නොපමාව කුසල් දහම් රැස් කරන්න" කියලා. ඒකෙ තේරුම හරිම පැහැදිලියි. මේ වෙනස් වන අනිත්‍ය දුක්ඛ අනාත්ම (මමය මාගේය කියලා දෙයක් නැති) වූ ලෝකය එලෙසම දකින්න අවශ්‍යයි. මේ ලොකෙ නිත්‍යයි, සැපයි, ආත්මයි (මමය මාගේය කියලා දෙයක් ඇති) යැයි හිතාගෙන ඉන්න එකෙන් ඔබ මේ ලෝකෙට (කාම ලෝකවලට) තව තවත් බැඳෙනවා ඒ බැඳීම ආසාව නිසාම ඔබ දිගින් දිගටම කාම ලෝක වලම ඉපිදෙමින් දුක් විඳිනවා. ඔබට පුලුවන් නම් මේ ලෝකෙ යථා ස්වභාවය දැකලා මේ ලෝකෙට ඇති ආසාව බැඳීම 'හිතින්' අත්හැරලා දාන්න, ඔබ ඉන් පසු කාම ලෝක වල දුක් විඳින්නෙ වත් නිරයන්ගේ වැටෙන්නේවත් නෑ.

බලන්නකො මොනතරම් පැහැදිලි දේශනාවක්ද, මොනතරම් ලස්සනට දේශනා කරලා තියෙනවද, මේ තරමට මනා කොට දේශනා කරපු සිත නිවාගන්න දහමක් අපි උපතින් උරුම කරගෙන ඒ දහම පුරුදු නොකර ඒ දහම උප්පැන්න සහතිකයට විතරක් සිමා කරගෙන ඒ දහමට දුම් අල්ල අල්ල ඉඳලා පුජෝපහාර කරමින් ඉඳලා මරණින් මතු නිරයන්ගේ දුක් විඳිනවා නම් බලන්නකො ඔබ කොයි තරම් අවාසනාවන්ත වෙලාද? මේ සසරින් ගැලවිම දෝතේ තියාගෙන ඉපදුන අපි මේ ලද දායාදය අපිටම උරුම කරගමු.


නිවනට දුර කොපමණද දන්නවාද?
ඒ ඔබ නිවන දුරයි කියලා හිතන තරමමයි...

No comments:

Post a Comment