සියලු සිත් පීඩා වලට හේතුව බැඳීම්



"තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ...."

මේ වචන පෙළ ඕනැ තරම් අහලා ඇති, තනිව මේ ලෝකෙට එන ඔබ එදා ඉඳලා භාහිර ලෝකයේ විවිධ දේවල් වලට බැඳීම් ඇති කරගන්නවා, වටිනාකම් දෙනවා. මුලින්ම තමන්ගෙ සෙල්ලම් බඩු වලට, ඉන් පස්සේ පවුලේ උදවියට, ඉන් පස්සේ තමන්ගෙ මිතුරන්ට, වාහනයට, දුරකථනයට, පෙම්වතියට, බිරිඳට, දරුවන්ට ආදී වශයෙන් කලින් කලට අපි විවිධ දේවල් වලට වටිනාකම් දෙනවා. ඒ දෙන වටිනාකම් අපිම පස්සෙ වෙනස් කරගන්නවා. 

හිතන්න පොඩි කාලේ ඔබ ළඟ තිබ්බ එක එක සෙල්ලම් බඩු වලට දීලා තිබ්බෙ එක එක වටිනාකම් නේද? ඔබ ළඟ තියෙන ටෙඩි බෙයා කෙනෙක්ට වඩා කාර් එකකට ඔබ ආදරේ කරන්න ඇති. වෙනත් විදිහකින් කිවුවොත් ඔබ මනසින් ඒකට ලොකු වටිනාකමක්‍ දෙනවා. අන්න එතකොට ඒ ලොකු වටිනාකමක් තියෙන සෙල්ලම් බඩුවක් පරිස්සම් කරන්න ගොඩක් මහන්සි වෙනවා කාටවත් අල්ලන්න දෙන්නෙ නෑ. ඒ වගේම කැඩුනොත් ගොඩාක් දුක් වෙනවා. අඩු වටිනාකමක් දීපු දෙයක් කැඩුනට ඔබට දුක නෑ. ඔබ බැඳීමක් ඇති කරගත්තා ඒ බැඳීම දිගටම තියෙයි කියලා හිතුවා. ඒ නිසා කැඩුනම වැඩිපුර දුක් උනා. 

හිතන්න ඔබ දැන් ඉස්සර වගේ සෙල්ලම් බඩු වලට ආසයිද? මේ ලෝකෙ තියෙන සියලුම දේවල් වෙනස් වෙනවා සේම ඔබ ඇතිකරගන්න බැඳීම් ඔබ විසිනුත් කලින් කලට වෙනස් කරගන්නවා. 

මා ඔබෙන් අහන ප්‍රශ්ණය, ඔබ මේ ජීවිතය තුල දුක් උන අවස්ථා මතකයට ගන්න. හිතන්න ඒ හැම දුකක්ම ඇති උනේ භාහිර දේවල් වලට අනවශ්‍යය වටිනාකම් දුන් නිසා නෙමෙයිද? අහිමි උන පෙම්වතා පෙම්වතිය ට ජිවිතේ ලොකූ වටිනාකමක් දීලා තිබුණ නිසයි ඔබට ලොකු දුකක් අත් උනේ, නැති උන කැඩුන දුරකථනය ගැන ඔබ ලොකූ ආසාවකින් හිටපු නිසා ‍මනසින් ලොකූ වටිනාකමක් දීලා තිබුණ නිසයි ඔබට ඒක කැඩුනම ගොඩාක් දුක් වෙන්න සිද්ද උනේ.

එහෙනම් ඔබ දැන් තේරුමගන්නවා සියලු දුක් වීම්, සියලු මානසික පීඩා අපි මේ ලෝකෙ භාහිර දේවල් වලට දීපු අනවශ්‍යය වටිනාකම් නිසයි කියලා. ඒ ව‍ගේම අන්න ඒ මානසිකව දීපු වටිනාකම් නොවන්නට ඔබේ ජීවිතයේ දුක් රහිත සතුට පමණක් සහිත වන්නට තිබුණා. 

තදින් මේ දේ හිතට ගන්න, ඔබ ඕනෑම පිටස්තර පුද්ගලයෙකුට, ද්‍රව්‍යකට ආදරේ කරනවා නම්, ආසා කරනවා නම් මතක තියාගන්න හොඳින් ඔබ ඒ පිටස්තරයාට ඔබේ දුක සතුට පාලනය කරන දුරස්ථ පාලකයක් ලබා දුන්නා හා සමානයි. ඉන් ඉදිරියට ඔබ සතුටු වෙනවා ද දුක් වෙනවා ද කියන එක තීරණය වෙන්නෙ ඔබ වටිනාකම් දීලා අල්ලාගත්තු කෙනා හෝ දෙයයි. 

මෙන්න මේ උදාහරණය ඔබ හොඳින් හිතලා බලන්න, කුමක් හෝ පෘෂ්ඨයක් මත රෝදයක් කැරකිලා යනවා. ඒ රෝ‍දය අනිවාර්යෙන්ම කැරකෙමින් ඉදිරියට යනවා. ඔබ මේ පෘෂ්ඨයට මැලියම් යෙදුවොත් ඒ යොදපු තරමට ඒක ඉදිරියට තල්ලු කරන්න දැඩි වෙහෙසක් දරන්න වෙනවා. අපි ජීවිතයේ ඇති කරගන්න බැඳීම් තමයි මේ මැලියම්, රෝදයට මේ බැඳීම් නැමැති මැලියම් කඩමින් ඉදිරියට යන්න දැඩි ආයාසයක් අවශ්‍යයි. මතුපිටින් කැ‍රකෙමින් යන රෝදයට එසේම යන්න දීලා ඒ කියන්නෙ ලැබෙන දේ භාර අරන් නැති වෙන දේ ගැන පසු තැවෙන්නෙ නැතුව ඒවා බැඳීම් වලින් හිර කරගන්නෙ නැතුව ඉන්නවා නම් තමන්ගේ ජිවිතය ඉතාමත් සරල සුන්දර ජිවිතයක් වෙනවාමයි. 



1 comment:

  1. හොද වැඩක්.. දිගටම ලියන්න...

    ReplyDelete