සංඝ රත්නය හඳුනාගමු. දැනගෙන සරණ යමු.


පහත දක්වලා තියෙන්නෙ බුදුන් සරණ ගිය ශ්‍රාවක සංඝ්‍යා වහන්සේලා වන්දනා කරන ගාථාවෙන් උපුටාගන්නා ලද සංඝ්‍යා වහන්සේලාගේ ගුණයන්. අද වන විට භික්ෂුවගේ කාර්ය භාරය කුමක් දැයි බොහෝ දෙනෙක් වාද විවාද කරමින් ඉන්නවා. වැඩි දුර යන්න දෙයක් නැහැ. පහත කහ පැහැයෙන් දක්වලා තියෙන ගුණ භික්ෂුවගේ තියෙනවා දැයි හොඳින් බලන්න. එසේ නම් උන් වහන්සේ සැබෑ භික්ෂුවකි. එසේම එම භික්ෂුව ගිහියන්ට පිං කෙතක් වේ, දාන මාන ආදිය පිලිගැනීමට සුදුසු වේ. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වේ. සංඝ රත්නය නිවැරදිව හඳුනාගැනීමට ඔබේ නුවනින් ගුණ ඇත්තන් තෝරා බේරාගෙන උන්වහන්සේලා සරණකොට ගන්න.

1. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධි ප්‍රඥාවකින්ද යුක්තව නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යහපත් මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් සුපටිපන්න නම් වන සේක.

2. උජුපටිපන්නෝ භවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධිප්‍රඥාවකින්ද යුක්තව නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඍජු මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් උජුපටිපන්න නම් වන සේක.

3. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධි ප්‍රඥාවකින්ද යුක්තව් නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සත්‍ය මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් ඤායපටිපන්න නම් වන සේක.

4. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධි ප්‍රඥාවකින්ද යුක්තව නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිවැරැදි මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක.

- යදිදං චත්තාරි පුරිස යුගානි - සෝතාපන්න පැවිදි ශ්‍රාවක සකදාගාමී පැවිදි ශ්‍රාවක අනාගාමී පැවිදි ශ්‍රාවක අරිහත් පැවිදි ශ්‍රාවක යැයි පුරිස යුගල වශයෙන් සිව් නමක් වන හෙයින් යදිදං චත්තාරි පුරිස යුගානි නම් වන සේක.

- අට්ඨ පුරිස පුග්ගලා - සෝතාපන්න මගෙහි පැවිදි ශ්‍රාවක, සෝතාපන්න ඵලයෙහි පැවිදි ශ්‍රාවක, සකදාගාමී මගෙහි පැවිදි ශ්‍රාවක, සකදාගාමී ඵලයෙහි පැවිදි ශ්‍රාවක, අනාගාමී මගෙහි පැවිදි ශ්‍රාවක, අනාගාමී ඵලයෙහි පැවිදි ශ්‍රාවක, අරිහත් මගෙහි පැවිදි ශ්‍රාවක, අරිහත් ඵලයෙහි පැවිදි ශ්‍රාවක, යැයි පුරිස පුද්ගල වශයෙන් අට නමක් වන හෙයින් අට්ඨ පුරිස පුග්ගල නම් වන සේක.

5. ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙය්‍යෝ -  පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා සැදැහැවතුන්ගේ පූජාවන් පිළිගැන්වීමට ද, පිළිගැනීමටද අතිශයින්ම සුදුසු වන හෙයින් ආහුනෙය්‍ය නම් වන සේක.

6. ඒස භගවතෝ සාවක සංඝෝ පාහුනෙය්‍යෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන්ගේ ආගන්තුක සත්කාර පිළිගැන්වීමටද, පිළිගැනීමටද අතිශයින්ම් සුදුසු වන හෙයින් පාහුනෙය්‍ය නම් වන සේක.

7. ඒස භගවතෝ සාවක සංඝෝ දක්ඛිනෙය්‍යෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන්ගේ උතුම්ම පූජාවන් පිළිගැන්වීමට ද, පිළිගැනීමටද අතිශයින්ම සුදුසු වන හෙයින් දක්ඛිනෙය්‍ය නම් වන සේක.

8. ඒස භගවතෝ සාවක සංඝෝ අඤ්ජලිකරණියෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන් දොහොත් මුදුන් තබා කරන වන්දනාවන්ට අතිශයින්ම සුදුසු වන හෙයින් අඤ්ජලි කරණීය නම් වන සේක.

9. ඒස භගවතෝ සාවක සංඝෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන්ට පිං උපදවන උතුම් පිං කෙතක් වන හෙයින් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති නම් වන සේක.

මෙහි එන සියලු ලක්ෂණ එක් වගන්තියකට කැටි කලොත්, භික්ෂුව මාර්ගඵල ලාබී ‍විය යුතුය. එසේත් නැති නම් මාර්ගඵල ලබාගැනීමේ මාර්ගයේ සිත නිවීමේ, අත්හැරීමේ, මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් සිටිය යුතුය.

බුදුන් සරණ යාමට ප්‍රථම නිවැරදිව බුදුන් හඳුනාගන්න
ධර්මය සරණකොට කරගැනීමට නිවැරදි ධර්මය හඳුනාගන්න
සංඝ රත්නය සරණ කොට ගැනීමට පෙර නිවැරදි සංඝ්‍යාවහන්සේ හඳුනාගන්න

මිත්‍යාව සරණකොටගෙන ඉදිරි ආත්ම භව නිරයේ ගත නොකරන්න

4 comments:

  1. කවුද ඔය ගුණ තියෙන කෙනෙක් ඉන්නෙ?
    දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා වස්තුව දේපල තර කරගන්නවා මිසක් අත්තරින්න හිතන්නෙවත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. රටේ රාළJuly 11, 2014 at 12:29 AM

      බුද්ධ ධර්මය රකින්න උඩ පනින අය අඩු ගානේ මේ ගුණ වර්ධනය කරගත්තා නම් තමයි හොඳ. නැත්තං රකින්නෙ අහවල් එකෙයි?

      Delete
  2. රටේ රාළJuly 11, 2014 at 12:30 AM

    සම්පූර්ණ ඇත්ත.
    මකවලා ගන්න වෙලා තියෙන්නෙ දැන්

    ReplyDelete
  3. බුදුන් හෙ දහම ආගමක් කරගෙන ඉන්න අය නිබ්බාණ මග වසාගෙන සුඛෝපභෝගී සුඛවිහරණ සොයමින් දේශපාලනයට පවා එළැඹෙන කාලයක්.

    ReplyDelete