Showing posts with label විඩාව. Show all posts
Showing posts with label විඩාව. Show all posts

චිත්ත පීඩා ඇති වනවාද? ඇති කරගන්නවා ද?

පසුගිය ලිපියෙන් අපි ඔබ මුහුණ දෙන විඩාව සහ පීඩාවන් ගැන සාකච්ඡා කලා. මා ඔබෙන් අසන ප්‍රශ්ණය, මේ පීඩාවට හේතුවක් ඇත්ද? ඔබ පිළිතුරු දේවි විවිධ අවස්ථා වල විවිධ හේතූන් නිසා අපි විඩාවට පත් වේ යැයි කියා. නමුත් මා ඔබට පෙන්වනවා නැත මේ සියල්ලට පොදු එක් හේතුවක් ඇතැයි කියා.

ඔබ චිත්ත පීඩා ඇති කරගන්නා අවස්ථා 2ක් තිබෙනවා

1) අතීතයේ වූ සිදුවීමක් නැවත සිහි කරමින් දුක් වීම පීඩා විඳිම
2) අනාගතයේ යම් දෙයක් වේවි යැයි අනියත බියෙන් පීඩාවිඳීම්

ඔබ මේ මොහොතේ හිත් පිඩාවකින් ඉන්නවා නම්, හිතන්න ඒ පිඩාව ඇතිවූයේ ඉහත අවස්ථා දෙකින් එකක් නිසා නොවේ ද කියා. සැබැවින්ම එයින් එක් අවස්ථාවක් හේතු වී ඇත.

එසේම ඔබ තදින් අල්ලාගත්තා වූ අදහසක් හෝ වස්තුවක් එයට හේතුවනු ඇත.



උදාහරණයක් ලෙස මෙසේ සිතමු,
මෙය යමක් අහිමි වූ විට දැනෙන දුකට හේතුව විස්තර කරයි

මල් පෝච්චි දෙකක් තිබේ යැයි සිතමු. එකක් ඔබේ නිවසේ එකක් මගේ නිවසේ. මේ මල් පෝචිච දෙකම එකවර බිඳී යනවා. ඔබ දුක් වෙන්නේ කුමන මල් පෝච්චිය ගැනද? නිසැකවම ඔබ ඔබේ මල් පෝච්චිය ගැන දුක් වෙනවා. ඇයි ඔබ මගේ මල් පෝච්චිය ගැන දුක් නොවන්නේ? ඔබ පවසාවි ඔබට එය අදාල නැත්තේය කියා. මා එයට හේතුව මෙසේ විස්තර කරනවා, ඔබේ මල් පෝච්චිය ඔබ තදින් මනසින් අල්ලාගෙන සිටිනවා නමුත් මගේ මල් පෝච්චිය ඔබ තදින් මනසින් අල්ලාගෙන නැහැ. (මනසින් අල්ලාගන්නවා යනු ඒ මල් පෝච්චිය ගැන ආසාවක් තමන්ගේ යන හැඟීමක් ඇති බවයි) ඔබට දැන් කොහොමටත් මල් පෝච්චිය අහිමි වෙලා අවසන්, නමුත් ඔබ දුක් වීමෙන් ඔ‍බේ මානසික සහනයත් නැති කරගන්නවා. එක අහිමිවීමක් මදිවාට තවත් එකක් අහිමි කරගන්නවා. හිතන්න, ඔබට හැකි උනා නම් මගේ මල් පෝච්චිය දෙස ඔබ බලන විදිහටම ඔබේ මල් පෝච්චිය දිහා බලන්න? ඔබට දුකක් ඇති වේද? නිසැකවම නැහැ. මල් පෝච්චිය භෞතිකව නිවසේ තිබ්බට ඒක ගැන දැඩී ආසාවකින් දැඩී ඇල්මකින් පසු උනොත් නිසැකවම එය අහිමිවූ දින දැඩී වේදනාවක් ඔබට උරුම වෙනවා.

එසේ නම් ඔබේ දුක් වීමට හේතුව ඇත්ත වශයෙන්ම මල් පෝච්චිය බිඳීම නොවෙයි. එයට එකම හේතුව ඔබ මල් පෝච්චිය ගැන ඇතිකරගෙන තිබුණු දැඩි බැඳීමයි.

මීළඟ උදාහරණය
යමක් තමා සිතූ ලෙස සිදු නොවීමේ දුකට හේතුව විස්තර කරයි

ඔබ උදෑසන බස් රථය එනකල් පාරේ මඟ බලාගෙන ඉන්නවා. පාර දිහාම බලාගෙන ඩ්‍රයිවර් මහත්තයට හිතින් බැන බැන වෙලාව බල බල කේන්තියෙන් ඉන්නවා. ඒ වගේම තවත් අයෙක් වට පිට තියෙන සුන්දර දේවල් බල බල සතුටින් ඉන්නවා. මේ දෙන්නම යන්නෙ එකම බස් එකේ. මේ දෙන්නටම බස් එක පරක්කු වෙලා. බස් රථය ඔබට ඕනෑ වෙලාවට ඒවී කියලා ඔබ තදින් හිතට අදහසක් දාගෙන හිටියා. අනිත් කෙනා බස් එක ආපු වෙලාවට යනවා කියා හිතා හිටියා. ඔබ කුමක් හිතුවත් බස් එක එන්නේ බස් එක එන වෙලාවට. ඔබ තරහින් හිටියාය ඔබ සතුටින් හිටියාය කියලා වෙනසක් බස් ඩ්‍රයිවර්ට දැනෙන්නෙ නෑ. ඉතින් ඇයි අපි නිකන් හිත තරහෙන් පුරවගෙන පීඩනයකින් පුරවගෙන ඉන්නෙ. පරක්කු වෙලා ගියොත් රතු ඉර වදියි. රතු ඉර වදිනවා නම් වදිනවා. ඒ අහිමිවීමට ඔබ තරහෙන් ඉඳලා ‍ඔබේ හිතේ සැනසීමත් අහිමි කරගෙන තවත් අහිමිවීමක් එකතු කරගන්නවා.

එසේ නම් ඔබ කේන්ති ගැනීමට හේතුව බස් එක පරක්කු උන එක නෙමෙයි, ඔබ බස් එක ඔබට ඕනෑ වෙලාවට ඒවි කියලා තදින් හිතට දාගෙන තිබුණ අදහසයි.

මීළඟ උදාහරණය
යමෙක් ඔබෙන් ඈත් වූ විට දැනෙන දුකට හේතුව විස්තර කරයි

සරල උදාහරණයක් හිතමු බොහෝ දෙනෙක්ට පොදු දෙයක්. ඔබේ පෙම්වතිය/පෙම්වතා හැර ගිහින් කියලා හිතමු. දැන් හැර ගිහින් ඉවරයි. ඔබ හිතින් දුක් උනා හෝ හිතින් කොයි තරම් වේදනා වින්දත් ඔබ නොකා නොබී හිටියත් ඒ පාඩුව වේදනාව දැනෙන්නෙ ඔබේ ශරීරයට හා ඔබේ හිතටමයි. හිතන්න එහෙම කලාය කියලා ආයෙ ආපු අය ඉන්නවද? මෙහෙම හිතමු ඔබ ළඟ වටිනා දුරකථනයක් තියෙනවා ඔබ ඒකට ඉතාමත් ආදරෙයි, නමුත් ඔබට තවත් අති නවීන දුරකථනයක් ලැබෙනවා. ඔබට පුලුවන්ද පළමු දුරකථනය මේකයි ඒ නිසා ඒකයි මට වටින්නෙ කියන්න? ඇත්තෙන්ම බැහැ. මිනිස් සිත් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. කවදාවත්ම සෑහීමකට පත් වෙන්නෙ නෑ.ක්ෂණයක් ක්ෂණයක් පාසා අලුත් අලුත් දේවල් හොයා යනවා. ඉතින් මෙහෙම වෙනස් වෙනවාමයි කියලා හොඳටම දන්න දෙයක් වෙනස් වීම ඔබේ හිතට දුකක් උනේ කොහොමද?

අන්න එසේ නම් ඔබ දුක් වෙන්න හේතුව ඔහු හෝ ඇය වෙනස් වීම නෙමෙයි ඔබ හිතාගෙන හිටියා ඔහු හෝ ඇය මියෙන තුරාවට වෙනස් නොවේවි යැයි කියලා. අන්න එසේ හිතා හිටපු නිසා ඒ අදහස සුනු විසුනු වීමේ දුකයි ඔබට දැනෙන්නෙ.

දුක නැති කිරීමේ මෙහෙයුම ඉදිරියට...

උපතේ සිට මරණය දක්වා විඩාව, පීඩාව



අඬාගෙන ඉපදුන දවසේ ඉඳලම කෙමෙන් කෙමෙන් වැඩෙන කාලය පුරාවට ඉන් පස්සෙ විවිධ වගකීම් වලට හිර උන වැඩිහිටියෙක් ලෙස කොයි තරම් මානසික පීඩාවන්ට අපි ලක් වෙනවද? දවස පුරා වැඩ ගොඩ ගැහුන දවසක් නම් ඔබ දවස ගත කරන්නෙ කොයි තරම් පීඩනයකින්ද? ඔබේ හිතෙන්ම අහලා බලන්න ඔබේ හිතේ තියෙන පීඩනය නිසාම නිකරුණේ කී දෙනෙක් දවසකට ඔබෙන් බැනුම් අහනවද? ඔබේ හිතේ එදා දවසේ පීඩනය නිසා ඔබ කී දෙනෙක් ගැන කේන්තියෙන් ඉඳලා තියෙනවද? මේ විදිහට බැලුවම කුඩා අවදියෙන් පස්සෙ පාසල් වියේ ඉඳලම දවසින් දවස අපිට හිතේ පීඩාවන් වැඩි උනා මිස අඩුවීමක් තිබිලා නැහැ. එසේ හිතේ පීඩා අවසන් වෙනවා නම් ඒ වයස් ගත අවදියේ. නමුත් හිතේ පීඩා අඩු වෙනකොටම පටන් ගන්නවා නේද ගතේ පීඩා? ඔබ මදක් අවදානයෙන් ඉන්න ගෙදර ඉන්න ආච්චී, සීයා දිහා. ඔබට නිතරම අතන මෙතන රිදෙනවා කියා කන් කෙඳිරි ගාන නිසා ඔබට දැන් ඒක සාමාන්‍ය සිද්ධියක් වෙන්නත් ඇති. නමුත් හොඳට අවධානයෙන් බලන්න ඒ අය ශාරීරිකව දුර්වල වීමත් එක්ක කොයි තරම් පීඩාවක් විඳිනවද කියලා. ඒ විතරක්ද ඒ අය පිටතට නොපෙන්නුවට දවසින් දවස මරණය ලඟා වෙනවා කියලා දැනෙනකොට ඒ අය ඇතුලේ කොයි තරම් පීඩනයක් හිර වෙලා ඇතිද?

මේ විදිහෙන් බැලුවම ඔබට තේරෙනවා ඇති මේ තරඟකාරී ලෝකයේ අපි දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට අපි දියුණුවෙන්න ජීවිතේ සතුටු වෙන්න හිතාගෙන දිවා රාත්‍රී වෙහෙසුනාට අවසාන වශයෙන් ජිවිතේ පුරාවට අපි සැබෑ සතුටක් නිදහසක් භුක්ති විඳිනවද? ඔබ සමහර විට මට විරුද්ධ වේවි ඔබ කියාවි අපිට නැති උනාට සල්ලි තියෙන කෝටිපති මිනිස්සු කොයි තරම් සතුටින් ඉන්නවද කියලා. ඒ අයට මොන ප්‍රශ්ණද කියලා. ඇත්තටම මම ඔබට එසේ නම් අභියෝගයක් කරනවා සැප සම්පත් වෙනුවෙන් හඹා ගිහිල්ලා අද වෙනකොට සතුට හිතේ නිදහස හොයාගත්ත කෝටිපතියෙක් හොයලා කියන්න. ඔබට වගේම තමයි ඒ අය එතන රැඳෙන්න පුදුම වෙහෙසක් දරනවා තමන්ගෙ සම්පත් ආරක්ෂා කරන්න, නඩත්තු කරන්න, කොච්චර වෙහෙසක් දරනවද? ඒ සම්පත් නැති වේවි කියලා කොයි තරම් හිතේ පීඩනයකින් ඉන්නවද. මේ දේවල් එසේ නොවේවියි කියලා හිතේවි නමුත් ඇත්තටම එවන් අයෙකුගේ ජීවිතය අධ්‍යයනය කරලා බැලුවොත් වැටහේවි කොයි තරම් චිත්ත පීඩාවක් ඔහු තුළ තියෙනවද කියලා.

හොඳ උදාහරණයක් කියන්නම් මේ ලෝකෙ වැඩියෙන්ම සම්පත් එකතු කරගත්තු රට රාජ්‍ය ආක්‍රමණය කරගෙන ගිය 'මහා ඇලෙක්සැන්ඩර් රජු' අවසාන කැමති පත්‍රය ලියනවා.

1) මරණයට කරගහන්න අවසර තියෙන්නෙ රාජකීය වෛද්‍යවරුන්ට විතරයි
2) තමන් උපයපු රන් රිදී මුතු මැණික් සියල්ල මරණය ගෙන යන පාරේ අතුරන්න
3) තම අත් දෙක පෙට්ටියෙන් පිටතට දිගහැර එළියට පෙනෙන්න තබන්න

මෙච්චර රාජ්‍ය අල්ලගත්තු මට ඉන්නෙ ලෝකයේ විශිෂ්ඨම වෛදවරු. එයාලා පාවිච්චි කරන්නෙ විශිෂ්ඨම වෛද්‍ය ශෘස්ත්‍රය. ඒ අයට බැරි උනා මගේ දිවි බේරගන්න. මම උපයපු මුතු මැණීක් කිසිවක් මට ගෙනියන්න බැරි උනා බලන්න මේ අත් දෙක හිස්, කියන පණිවිඩය ජනතාවට දෙන්නයි එතුමන්ට අවශ්‍යය උනේ. එතුමා නියම අවබෝධයක් ලබලා තිබුණා සම්පත් හඹායාමේ අවසාන විඩාව ගැන. එසේ නම් ඔබට ඊට වඩා කුමන උදාහරණයක් පෙන්වන්නද?

ඒ විඩාව විතරක් ද, මේ ජීවිත කාලය තුළ ඔබ රෝගපීඩා නිසා කොච්චර අසරණ වෙලා ඇත්ද? තමන්ගෙ එදිනෙදා වැඩ කරගන්න පවා බැරි මට්ටමට රෝගාතුර වූ විට ඔබ කොතරම් අන් අය ඉදිරියේ අසරණ වෙනවාද, කොතරම් චිත්ත පිඩාවට ලක් වෙනවාද? ඔබ ඉපැයූ කෝටි ප්‍රකෝටි ගණනින් මිල මුදල් තිබුණත් අතට පයට සියලු දෑට සේවකයන් කොපමණ හිටියත්, හිතන්න ඔබ රෝගාතුරව සිටිනා විට ඔබට හිතේ සැනසීමක් ඇත්ද?

කුමක් ද මේ උපතේ සිට මරණය දක්වාම විඳවන පීඩාව? කුමක්ද මෙයට හේතුව? සතුට සතුට යැයි කොයි තරම් පසුපස ගියත් ඔබ අවසන ලැබූ සතුටක් ඇත්ද? ඔබ මින් පෙර ඒ ගැන සිතා තිබේද?

ගවේශණය ඉදිරියටම... 

විඩාව ඔබටත් දැනුනා ද?



තාක්ෂණයේ දියුණුව අහස උසට නැග තිබුණත් යාන වාහන ගේ දොර සැප සම්පත් අහස උසට ගොඩනගාගෙන තිබුණත් මිනිසුන් එයින් සතුටක් ලබන්නේද? නැත. සැපසම්පත් පසුපස වේගයෙන් හඹායන මිනිසුන් අවසානයේ නවතින්නේ සතුටක් ලැබීමකින් නොව ඉමහත් වූ විඩාවකිනි. එය සැපසම්පත් පසුපස හඹා ගිය ඒවා ළඟාකරගත්තවුන්ගේ මෙන්ම ඒවා ළඟා කර නොගත්තවුන්ගේ ද එකම අවසාන අදහසයි. හෙට සතුට ලැබේවී හෙට සතුට ලැබේවී යැයි බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් එසේ නොවුනි. එසේ නම් කුමක්ද ‍මේ විඩාව? කුමක්ද මේ විඩාවට හේතුව? කුමක්ද මේකට විසඳුම?

අපි විමසමු...