කඳ පිරිත සර්පයන් එළවන මන්ත්‍රයක් නොවේ!

බොහෝ දෙනෙක් පිරිත් මන්ත්‍ර ලෙස ගණ පිහිටවා ඇතැයි සිතා යකුන් එළවීමේ මන්ත්‍ර ලෙස හා සතුන් එළවීමේ මන්ත්‍ර ලෙස භාවිතා කරයි. නමුත් පිරිතෙහි සැබෑ අර්ථය වටහාගත් විට පිරිත් මන්ත්‍ර ලෙස භාවිතය අර්ථවිරහිත බව ඔබටම වැටහේවී. උදාහරණයක් ලෙස කඳ පිරිත බොහෝ දෙනෙක් සර්පයින් ගෙන් වෙන අනතුරු වැලකීමට මන්ත්‍රයක් ලෙස සිතා භාවිතා කරයි. නමුත් එහි සැබෑ අරුත ඔබ සර්පයන් ආදී සියලු සතුන්ට එක සේ මෙත් සිත පැතිරවිය යුතු අතර එහි ප්‍රථිපලයක් ලෙස ඔබට එම සතුන්ගෙන් හානියක් සිදු නොවේ. නමුත් සර්පයින් ගැන බද්ධ වෛරයෙන්, 'විෂ ගෝර සර්පයා දැක නෑර මෝඩයා' කියන දුටු තැන සර්පයින් මකුණන් ආදි සතුන් මරා දමන මිනිසුන් කඳ ‍පිරිත හිස් මුදුනෙන් සිටගෙන දහස් වරක් කීවත් එයින් කිසිදු ආරක්ෂාවක් නොලැබේ. මෙහි සැබෑම ආරක්ෂාව නම් පැටලි පැටලී පාලි පිරිත කීම නොව සැබැවින් තමාට තේරෙන භාෂාවෙන් තේ‍රුම උගෙන සර්පාදි සියලු සතුන් වෙත වෙත එක සිතින්ම මෛත්‍රී කිරීමයි. බුදුන් අනුමත කර ඇත්තේ එයයි.

~ කඳ පිරිතේ සිංහල අනුවාදය ~

මා විසින් මෙසේ අසන ලදි එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේ පිඬු සිටු තුමාගේ ආරාමයේ වැඩ වසන සේක. එකල් හී සැවැත් නුවර සිටියාවූ එක්තරා භික්ෂුවක් සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් කළුරිය කලේය. එවිට බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහුය එසේ පැමිණි ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව උන්නාහුය. එකත්පස්ව උන් ඒ භික්ෂූන් වහන්සේලා 'ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මේ සැවැත්නුවරදී එක්තරා භික්ෂුවක් සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් කළුරිය කලේය' යැයි කියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කලාහුය.

පිංවත් මහණනි ඔය භික්ෂූව වනාහී සර්ප රාජ කුලයන් අතරට මෙත් සිත පැතිරවූයේ නැත. ඉතින් පිංවත් මහණනි ඒ භික්ෂූව විසින් සර්ප රාජ කුලයන් අතරට මෙත් සිත පැතිරවූයේ නම් පිංවත් මහණනි සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් ඒ භික්ෂූව කළුරිය නොකරන්නේය. ඒ සර්පරාජ කුල හතර කුමක්ද? විරූපාක්ෂ නම් වූ සර්පරාජ කුලයකි, ඒරාපත නම් වූ සර්පරාජ කුලයකි, ඡබ්‍යාපුත්ත නම් සර්පරාජ කුලයකි, කණ්හා ගෝතම නම් වූ සර්පරාජ කුලයකි පිංවත් මහණනි ඒ භික්ෂුව ඒ සර්පරාජ කුලයන් අතරට මෙත් සිත පැතිරවූයේ නැත. ඉතින් පිංවත් මහණනි ඒ භික්ෂුව විසින් මේ සර්පරාජ කුලයන් අතරට මෙත් සිත පැතිරවූයේ නම් පිංවත් මහණනි සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මේ භික්ෂුව කළුරිය නොකරන්නේය. පිංවත් මහණනි මේ සර්පරාජ කුලයන් වෙත මෙත්සිත පතුරවන්නට අනුමත කරන්නෙමි. එය වනාහී තමාහට රැකවරණය පිණිසද තමාහට ආරක්ෂාව පිණිසද තමාහට මෙත් පිරිතක් පිණිසද පවතින්නේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාල සේක,
මෙය වදාල සුගත වූ ශාතෘවහන්සේ යලි මෙයද වදාල සේක,

විරූපාක්ෂ සර්ප කුලයට මාගේ මෙත් සිත වේවා
ඒරාපථ සර්ප කුලයට මාගේ මෙත් සිත වේවා
ඡබ්‍යාපුත්ත සර්ප කුලයට මාගේ මෙත් සිත වේවා
කණ්හා ගෝතම සර්ප කුලයට මාගේ මෙත් සිත වේවා

පාද රහිත සතුන් කෙරෙහිද මාගේ මෙත් සිත වේවා
දෙපා ඇති සතුන් කෙරෙහිද මාගේ මෙත් සිත වේවා
සිවුපා සතුන් කෙරෙහිද මාගේ මෙත් සිත වේවා
බොහෝ පා ඇති සතුන් කෙරෙහිද මාගේ මෙත් සිත වේවා

පාද රහිත සතෙකුගෙන් මට හිංසා නොවේවා
දෙපා ඇති සතෙකුගෙන් මට හිංසා නොවේවා
සිවුපා ඇති සතෙකුගෙන් මට හිංසා නොවේවා
බොහෝ පා ඇති සතෙකුගෙන් මට හිංසා නොවේවා

සියලු සත්වයෝ ද ප්‍රාණීන් සියලු දෙනාද ඉපදී සිටින්නාවූ සියලූම සත්වයෝද ඒ හැම දෙනෙක්ම යහපතම දකිත්වා කිසිම කෙනෙක් වෙත නපුරක් නොපැමිණේවා
බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණ ඇති සේක. ශ්‍රී සද්ධර්මය ද අප්‍රමාණ ගුණ ඇති සේක. ආර්ය මහා සඟරුවන ද අප්‍රමාණ ගුණ ඇති සේක. එහෙත් ඒ සර්පයන් ද ගෝණුස්සන් ද පත්තෑයින් ද මකුළුවන් ද සිකනලුන් ද මීයන් ආදී කොට ඇති මේ සත්ව වර්ගයො කෙලෙසුන් ඉතා ප්‍රමාණයන්ගෙන් යුක්ත වන්නාවුය මා විසින් ආරක්ෂාව රකන ලදි මා විසින් පිරිත් ද කරන ලදි සියලු සත්වයෝ මගෙන් බැහැරට වෙත්වා. මේ මං වනාහී භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. සත් බුදු රජාණන් වහන්සේලාට නමස්කාර කරමී. ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා.

2 comments:

  1. pirith theruma danagena kiyana aya bohoma adui
    godak aya ohe kiyawanawa. therumak na.

    ReplyDelete
  2. සාදු සාදු සාදු

    ReplyDelete